Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics හිමාෂ ඒෂාන්ගේ තහනම දීර්ඝ කරයි

හිමාෂ ඒෂාන්ගේ තහනම දීර්ඝ කරයි

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තහනම් උත්තේජක ශරීරගත කර ගැනීමේ චෝදනාවට වසර හතරක තරග තහනමට ලක්ව සිටි සාෆ් රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරයෙකු වන ඩබ්.කේ. හිමාෂ ඒෂාන්ට පනවා තිබූ තරග තහනම නැවත වරක් තහවුරු කරමින් එය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජ්‍යායතනය පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් චෝදනාලාභී ක්‍රීඩකයාට පසුගිය අඟහරුවාදා (24) නිල වශයෙන් දැනුම්දීමට එම නියෝජ්‍යායතනය කටයුතු කර තිබේ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම හා එහි නීති නිලධාරී හා මාණ්ඩලික ලේකම් ඩී.එන්.ඒ.එස්. මල්ලවආරච්චි යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති දැනුම්දීමේ ලිපියකින් දන්වා ඇත්තේ තහනම බලපැවැත්වෙන කාලසීමාව තුළ සියලු ආකාරයේ ක්‍රීඩා කටයුතු හා පුහුණුවීම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

වසර 2021 ඔක්තෝබර් 26 වැනිදා නාරාහේන්පිට යුද හමුදා නිල නිවාස සංකීර්ණයේදී කළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී හිමාෂ ඒෂාන්ගෙන් ලබා ගත් මුත්‍රා නියැදිය තුළ තහනම් උත්තේජක සංඝටක අඩංගුවී තිබිණ. ඒ සම්බන්ධයෙන් කළ විනය පරීක්ෂණයට අනුව ඔහුට 2021 ඔක්තෝබර් 26 වැනිදා සිට 2025 ඔක්තෝබර් 25 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි සිව් වසරක තරග තහනමක් පැනවීමට තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය කටයුතු කළේය.

කෙසේ වුවත් ඒ සම්බන්ධ තෘප්තිමත් නොවූ හිමාෂ ඒෂාන් 2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 26 (1) (අ) උප වගන්තියට ප්‍රකාරව ලැබී තිබෙන හිමිකම් යටතේ උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අභියාචනා මූල මණ්ඩලය වෙත තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය.

ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනයේද (WADA) සහය ලබා ගනිමින් සිදු කළ එම අභියාචනයේ තීන්දුව ඒ අනුව අඟහරුවාදා හිමාෂ ඒෂාන්ට නිල වශයෙන් දැනුම්දී තිබේ.
මෙම තහනම දීර්ඝ කිරීමට අනුව එය 2027 ඔක්තෝබර් 25 වැනිදා දක්වා බල පැවැත්වේ.

දැනට 27 හැවිරිදි වියේ පසුවන හිමාෂ ඒෂාන් මෙම තහනම ගෙවා අවසන් කරන විට 32 හැවිරිදි වියට ආසන්න වන බැවින් එය ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවියට දැඩි බලපෑමක් කරනු ඇත.
 
අභියාචනයේදී දඬුවම ළිහිල් කර ගැනීමට හෝ නිදොස්වීමට හිමාෂ ඒෂාන් අපේක්ෂා කළත් ඒ වෙනුවට දඬුවම තවත් දැඩි කිරීමට හේතුවී ඇත්තේ ඔහු මීට පෙර අවස්ථාවකදීත් මෙම චෝදනාවම ලබා තරග තහනමට ලක්වූ අයෙකු වන බැවිනි. කලින් වතාවේදී ඔහුට පනවා තිබූ සිව් වසරක තහනම වසරක් දක්වා ලිහිල් කිරීමටද පියවර ගෙන තිබුණි.

හිමාෂ ඒෂාන් වසර 2016 – ගුජරාටි සාෆ් ක්‍රීඩා උළෙලේදී තත්පර 10.28 කට මීටර් 100 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද පිහිටුවමිනි. ඔහු තත්ත්පර 10.26 කට පිහිටුවා තිබූ මීටර් 100 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකෝන් විසින් වසර 2020 දී 10.16 කට බිඳ දමන ලදී.

හිමාෂ ඒෂාන් මෙතෙක් සිය ක්‍රීඩා දිවියේදී මීටර 100 හා මීටර 200 යන පිරිමි ඉසව්වලදී සාෆ් රන් පදක්කම් දෙකක්, ආසියානු ගෝන් ප්‍රී අනුශූරතා දෙකක් සහ ආසියානු කනිෂ්ඨ රිදී පදක්කමක් දිනා තිබේ.


අදහස් (0)

හිමාෂ ඒෂාන්ගේ තහනම දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.