කොදෙව් පිලට කඩුලු 5ක ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (12 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක් ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද කොදෙව්වෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායම පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්තේය. එහිදී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තද, කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වාලීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද කොදෙව් ආරම්භක කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ එවින් ලුවිස් (103) සහ ශායි හෝප් (84) ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ අඩිතාලම දැමූහ. ඒ පන්දු 224 කදී ලකුණු 192 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනගමිනි. තමාගේ සිව්වැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කිරීමට ලුවිස් සමත් වෙද්දී, හෝප්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගගේ (47) වේගවත් පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ වනිඳු, හත්වැනි කඩුල්ල වෙනුවෙන් තිසර පෙරේරා (19) සමග එක්ව පන්දු 44 කදී ලකුණු 64 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. පන්දු 31 කදී වාර්තා වූ වනිඳුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
පළමු තරගයේදී අර්ධ ශතකයක් ලබා සිටියදී පන්දු රකින්නාට බාධා කිරීමේ වරද හේතුවෙන් දැවී ගිය ධනුෂ්ක ගුණතිලක, මෙම තරගයේදී නැවතත් ලකුණු අතරට පිවිසි නමුත් ශතකය පෙනි පෙනී සිටියදී ජේසන් මොහොමඩ්ගේ පන්දුවක් හමුවේ ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පන්දු 96 කට මුහුණදුන් ධනුෂ්ක, හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කළේය.
දිනේෂ් චන්දිමාල් (71) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධනුෂ්ක සමත් විය. ජේසන් මොහොමඩ්ගේ පන්දුවක් හමුවේ ෆේබියන් ඇලන් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යෑමට පරෙ පන්දු 98 කට මුහුණ දුන් චන්දිමාල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසීය.
මුලු සංඛ්‍යාව 7 ක්ව තිබියදී නායක දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණකට සීමා කළ අල්සාරි ජෝෂප්, වැඩි වේලාවක් ගත වීමට මත්තෙන් පැතුම් නිස්සංකගේ (10) කඩුල්ලද බිඳ දැමූවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක වීමට ඉඩ නොතබමිනි.
හදිසියේ යළි දිවයින කරා පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආදේශකයා ලෙස මෙම තරගයට ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දුටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබිණ. අකීල් හොසේන්ගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජේසන් හෝල්ඩර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඕෂධ ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් අෂේන් බණ්ඩාරට මෙම තරගයේදී වැඩියමක් කිරීමට නොහැකි විය. ජේසන් මොහොමඩ්ගේ පන්දුවක් හමුවේ ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව රොමාරියෝ ෂෙපඩ්ගේ දෑත් අතර සිරවීමත් සමග අෂේන්ගේ ඉනිම ලකුණු 18 කට සීමා විය.
ශ්‍රී ලංකාව - ඕවර 50 කදී 8 ක් දැවී 273
(ධනුෂ්ක ගුණතිලක 96, දිනේෂ් චන්දිමාල් 71, අෂේන් බණ්ඩාර 18, තිසර පෙරේරා 19, වනිඳු හසරංග 47, අල්සාරි ජොෂප් 42/2, ජේසන් මොහොමඩ් 47/3)
බ.ඉ.කොදෙව් - ඕවර 49.4 කදී 5 ක් දැවී 274
(එවින් ලුවිස් 103, ශායි හෝප් 84, නුවන් ප්‍රදීප් 66/2, තිසර පෙරේරා 45/2)
-036