ලෝරි එවන්ස්ගේ ශතකය කොළඹ පිලට ජය ගෙනෙයි
එංගලන්ත ජාතික ලෝරි එවන්ස්ගේ අගනා ශතකය හේතුවෙන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති කොළඹ කණ්ඩායම එහිදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමට ඔන්ඩ්‍රි රසල් ප්‍රමුඛ කොළඹ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රසල් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගත්තේ යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ කඩුල්ලද සමගිනි.
හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් ලබා යාපනය ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. චරිත් අසලංක පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, ෂොයිබ් මලික් පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද රැස්කළ අතර තිසර පෙරේරා පන්දු 9 කින් ලකුණු 22 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනූ තිසරගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්හ. කොළඹ ඉනිම ආරම්භයේ සිට අවසානය දක්වා නොදැවී හිඳිමින් අගනා පිතිහරඹයක නිරත වූ ලෝරි එවන්ස් (නොදැවී 108), තරගාවයේ පළමු ශතකය ලබාගත්තේ පන්දු 65 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.
නායක ඇන්‍ජලෝ මැතිව්ස් (15) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ එවන්ස් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ දැමුවේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් ඔන්ඩ්‍රි රසල් එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කළේය.
කොළඹ කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 173
(ලෝරි එවන්ස් නොදැවී 108, ඇන්ජලෝ මැතිව්ස් 15, ඔන්ඩ්‍රි රසල් නොදැවී 21)
යාපනය ස්ටැලියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 167
(ටොම් මුවර්ස් 23, චරිත් අසලංක 32, ෂොයිබ් මලික් 29, තිසර පෙරේරා 22, වනිඳු හසරංග නොදැවී 23, සුරංග ලක්මාල් නොදැවී 17, ඔන්ඩ්‍රි රසල් 46/3)
