ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු නවයකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
ගාල්ල සහ මහනුවර කණ්ඩායම් තරග දෙක බැගින් ජය ලබා ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව ගාල්ල පිලට සිවුවැනි ස්ථානය හිමිවිය.
ගාල්ල පිල අද ලැබූ පහසු ජයග්‍රහණයත් සමඟ ශුද්ධ ලකුණු වේගය -0.481 සිට -0.203 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.
මහනුවර පිල ලැබූ මෙම පරාජයත් සමඟ ශුද්ධ ලකුණු වේගය -0.664 සිට -0.771 දක්වා පහත වැටුණු අතර ඒ අනුව මහනුවර පිල තරගාවලියෙන් ඉවතට විසිවිය.
දඹුල්ල වයිකිංස්, කොළඹ කිංග්ස්, යාපනය ස්ටැලියන්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගෙන සිටින දඹුල්ල පිල සහ කොළඹ පිල අතර හෙට (11) පැවැත්වෙන පළමු වටයේ අවසන් තරගයෙන් පසුව අවසන් පූර්ව තරගවලට සහභාගි වන අනුපිළිවෙළ තීරණය වේ.
ගාල්ල පිතිකරුවෝ ලකුණු 127 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
පළමු තරග පහම පරාජයට පත්ව සිටි ගාල්ල පිලේ සාර්ථකත්වයේ නියමුවා වන ධනුෂ්ක ගුණතිලක සිවුවැනි අර්ධ ශතකය (නොදැවී 94) රැස්කරමින් මෙහිදී ද ජයග්‍රහණය පහසු කළේය. ධනුෂ්ක පන්දු 66 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 94 ක් රැස්කිරීමට සමත් විය.
ගාල්ල ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමුව පන්දුවට පහර දුන් මහනුවර ටස්කර්ස් පිල ඕවර 19.1 කදී ලකුණු 126 කට සීමාකිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා තරුණ පන්දු යවන්නන් වන නුවන් තුෂාර (8/2), සහන් ආරච්චිගේ (24/2) සහ ධනංජය ලක්‍ෂාන්ගේ (32/2) විශිෂ්ට පන්දු යැවීමට මොහොමඞ් අමීර්ගේ (11/2) අත්දැකීම් පිරි පන්දු යැවීම මුසුවීමෙන් මහනුවර පිල අමාරුවේ වැටුණි.
මහනුවර පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හුදකලා සටනක නිරත වෙමින් පන්දු 41 කින් ලකුණු 68 ක් රැස්කළ අතර එයට හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය.
දකුණතින් වේග පන්දු යවන ධනංජය ලක්‍ෂාන් පළපුරුදු පන්දු යවන්නකු ලෙස වේගය අඩාල කර යැවූ පන්දුවට ඉර්ෆාන් පතාන් (11) ගොදුරුවීම කැපී පෙනුණි.
අසේල ගුණරත්න ලකුණු 12 ක් ලබා සිටියදී සහන් ආරච්චිගේ යැවූ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව පස්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් බලාපොරොත්තු සුන්විය.
පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලැබූ සීකුගේ ප්‍රසන්න (1) පන්දු තුනකදී දැවී යෑමෙන් මහනුවර පිල අමාරුවේ වැටුණි.
කුසල් මෙන්ඩිස් සහ බ්‍රෙන්ඩන් ටේලර් (20) තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 48 ක සම්බන්ධතාව නොවන්නට ගාල්ල පිලේ ඉලක්කය තවත් පහසුවනු ඇත.
මහනුවර පිලේ ආරම්භක පිතිකරුවන් වූ රමනුල්ලා ගුර්බාෂ් (4) සහ කුසල් පෙරේරා (0) ලකුණු නවයක් තුළ පිටියෙන් ඉවත්වීමෙන් ගාල්ල පිල සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.
මහනුවර පිල ලැබූ අසාර්ථක ආරම්භයත් සමඟ පළමු ඕවර හයේ ලකුණු 29 ක් පමණක් එකතු විය.
ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවන 26 හැවිරිදි නුවන් තුෂාර විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ගුර්බාෂ් සහ කුසල් පෙරේරා දවාගැනීමට සමත් විය.
නුවන් තුෂාර ඉනිමේ සිවුවැනි ඕවරය යැවීමෙන් පසුව නැවත 13 වැනි ඕවරයට යැවීමට සූදානම් වුවද පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුගේ පන්දු යැවීම ඕවර දෙකකට සීමාවිය.
ගාල්ල පිලේ නායක භානුක රාජපක්‍ෂ කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.
ගාල්ල පිලට අසන් අලී, අසාම් ඛාන්, හෂ්රතුල්ලා ශෂායි සහ මොහොමඞ් අමීර් විදේශ ක්‍රීඩකයන් ලෙස ඇතුළත්ව සිටියහ. මහනුවර පිලට රමනුල්ලා ගුර්බාෂ්, බ්‍රෙන්ඩන් ටේලර්, ඉර්ෆාන් පතන් සහ ඬේල් ස්ටෙයින් යන විදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩා කළහ.
මහනුවර ටස්කර්ස් පිල ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 126
(කුසල් මෙන්ඩිස් 68, බ්‍රෙන්ඩන් ටේලර් 20, අසේල ගුණරත්න 12, ඉර්ෆාන් පතාන් 11, නුවන් තුෂාර 8/2, ලක්‍ෂාන් සඳකැන් 41/1, ධනංජය ලක්‍ෂාන් 32/2, සහන් ආරච්චිගේ 24/2, මොහොමඞ් අමීර් 11/2, ෂෙහාන් ජයසූරිය 0/1)
ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 17 කදී කඩුලු 1 ට 130
(ධනුෂ්ක ගුණතිලක නොදැවී 94, හෂ්රතුල්ලා ශෂායි 20, ඩිල්රුවන් පෙරේරා 30/1