Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනා පන්දු යැව්වා මදි
වෝන් - මුරලි කුසලාන

ධනා පන්දු යැව්වා මදි

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයකැයි කීවද, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් අපේක්‍ෂිත දස්කම් අද දක්නට නොවීය. රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් දවාගත් නමුත් ඔහුගේ ඕවර 31 න් ලකුණු 107 ක් උදුරා ගැනීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.

රමේෂ් මෙන්ඩිස් හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් රඳවාගත් ලකුණු වේගය 3.45 ක් වන අතර ගාල්ලේ තණතීරුව සම්බන්ධයෙන් නම් මෙය ඉහළ ලකුණු අගයකි. ශ්‍රී ලංකා පිලේ දැනට සිටින වඩාත්ම පළපුරුදු දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියගේ ඕවර 15 කින් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 73 ක් උදුරා ගත්හ.

වෝන් - මුරලි කුසලාන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආක්‍රමණය කළ විලාසය සම්බන්ධයෙන් දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතාට ඇත්තේ තරමක විවේචනයකි.

“අපේ දඟ පන්දු යවන්නන් මේ ඉනිමේදී එකම නිළකුණු ඕවරයක් වත් යැවූයේ නැති බව මා පිළිගන්නවා. ඒත් මේ වගේ දඟ  කැවෙන තණතීරු වලදී පිතිකරුවන් උත්සාහ කරන්නේ ටිකක් ආක්‍රමණශීලීව පන්දුවට පහර දෙන්නයි. මේක නිදහසට කාරණාවක් නෙමේ. කොහොම වුණත් අපට නිළකුණු ඕවර  කිහිපයක් වත් යවන්න තිබුණා.”

“මා හිතන විදිහට ඒක කරන්න බැරිවුණේ පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී තරග රටාව හින්දා වෙන්න පුළුවන්” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා අද (30 වැනිදා) තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය.

ටෙස්ට් තරගකදී පන්දු යැවීම වෙනස්ම කලාවකි. දිගින් දිගටම යවන නිළකුණු ඕවර හමුවේ අසහනයට පත්වන පිතිකරුවා, කෙසේ හෝ ලකුණු ලබාගැනීමේ අටියෙන් මුරණ්ඩු පහරකට පෙළඹවීම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පිළිගත් උපාය මාර්ගයයි. මහේල ජයවර්ධන යුගයේදී මෙන්ම කුමාර් සංගක්කාර යුගයේදීත් මෙම ක්‍රමවේදය කදිමට යොදාගන්නා ලදි.

පිටියේ එක් අන්තයකින් සෙසු පන්දු යවන්නන් යොදවා පිතිකරුවන්ට ලකුණු ලබාගැනීමේ අවස්ථාව අවහිර කරනු ලැබේ. ඒ අතරවාරයේදී අනෙක් අන්තයෙන් පන්දු යැවූ මුත්තයියා මුරලිදරන් හෝ රංගන හේරත් දෙදෙනා හමුවේ මුරණ්ඩු පහර වලට යාමෙන් පිතිකරුවෝ දැවී ගියහ.

බොහෝ විට මෙහිදී සිදුවන්නේ වමත් දකුණත් පන්දු යවන්නන් දෙදෙනකු දෙපසින් යොදාගැනීමයි.

“අනෙක් අතට ධනංජය පන්දු යැව්වා මදි” යයි ද විජේතුංග මහතා කීවේය.
“පන්දු යැවීමත් එක්තරා ආකාරයක සම්බන්ධතාවක්. ඒත් මම හිතන්නේ නෑ අද අපි ඒක හොඳින් කළා කියලා.... රමේෂ් හොඳින් පන්දු යවන අතරේ අපිට ධනංජය ද සිල්වාවත් ටිකක් යොදාගන්න තිබුණා.... මම හිතන්නේ ඔහු පන්දු යැව්වා මදි”

“එහෙම කළා නම් තත්ත්වය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා” යයි ද කීවේය.
ඕස්ට්‍රේලියානු ඉනිමේ බිඳවැටුණු කඩුලු 8 න් කඩුලු 7 ක්ම දවාගත්තේ දඟ පන්දු යවන්නන් විසිනි. ස්ටීවන් ස්මිත් දුවද්දී දැවී ගියේය.

තරගයේ පළමු දිනයේදීම නේතන් ලයන් කඩුලු 5 ක් දවාගත් හෙයින් තණතීරුවේ හැසිරීම ඕස්ට්‍රේලියානුවෝ වටහා ගත්හ.. ඔවුන්ගේ ක්ක්‍ෂණික තීරණය වූයේ ආක්‍රමණයයි. කඩුලු දැවී ගියද ඕස්ට්‍රේලියානුවෝ එයින් සාර්ථක ප්‍රතිඵළ ලබාගත්හ.

ලසිත් ඇඹුල්දෙණිය පන්දු යැවූයේ නින්දෙක් ඇහැරුණු අයකු ලෙසිනි. එහෙත් මීට පෙර බොහෝ අවස්ථාවලදී ඔහු ඉතාමත් හොඳින් දස්කම් දක්වා තිබේ. කෙසේ වෙතත් ඔහුගේ අසාර්ථක සමය ආරම්භ වූයේ බංග්ලාදේශයේදීය.

දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා එය හොඳින් නිරීක්‍ෂණය කළ අයෙකි.

“එයා ඊයේ පන්දු යැව්වාට පස්සේ මම එයාත් එක්ක ටිකක් කතා කළා. එයා පුහුණුවීම් වලදී හොඳින් පන්දු යවනවා ඒත් තරගයට ගියාට පස්සේ පීඩනයට මුහුණ දෙද්දී ටිකක් පසුබහිනවා”

“මේක පීඩනය හසුරුවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. සමහර විට බංග්ලාදේශයේදී මුහුණ දුන් අසාර්ථකත්වය තවමත් ඔහුගේ සිතේ තියෙනවා වෙන්න පුළුවන්”

“මාත්, ප්‍රධාන පුහුණුකරුවාත් (ක්‍රිස් සිල්වර්වුඩ් මහතා) ක්‍රීඩකයන් සමග මේ ගැන කතා කරලා තියෙනවා. මේ වගේ දෙයක් වුණාම, ක්‍රීඩකයාම තමයි එතැනින් එළියට එන්න ඕනේ.. ඇරත් දඟ පන්දු යවන්නෙක් කියන්නේ අනෙක් කොයි ක්‍රීඩකයාටත් වඩා මානසිකව ශක්තිමත් වියයුතු ක්‍රීඩකයෙක්” යයිද විජේතුංග මහතා වැඩිදුරටත්  කීවේය.


(ඡායාරූපය - හිමත් මතීෂ)

 


අදහස් (0)

ධනා පන්දු යැව්වා මදි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.