Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තය 1-0 කින් තරගාවලිය දිනයි

නවසීලන්තය 1-0 කින් තරගාවලිය දිනයි

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජූනි 13 වැනිදා බර්මින්හැම් - (ඒ.එෆ්.පී)

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය අත පොවන මානයේ තිබියදී එංගලන්තය කඩුලු 8 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ වසර 22 කට පසුව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගත්හ. බර්මින්හැම්හි එජ්බැස්ටන් පිටියේදී ලබාගත් මෙම ජයත් සමගින් 1-0 ක් ලෙසින් තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ නිත්‍ය නායක කේන් විලියම්සන්ගේ සේවය පවා අහිමිව තිබියදීය.

කේන් විලියම්සන් ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ටොම් ලෙතම් තාවකාලික නායකයා වූයේය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

තරගයේ සිව්වැනි දිනය වූ අද (13 වැනිදා) යැවුණු පළමු පන්දුවේදීම ඔලී ස්ටෝන් දැවී යාමත් සමගම එංගලනත දෙවැනි ඉනිම නිමා විය. නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 38 ක් පමණි. කඩලු 2 ක් දැවී ලකුණු 41 ක් ලබාගත් කළු තොප්පිකාරයේ දිවා ආහාරයට පෙරම තරගය අහවර කළහ. ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය වූයේ ඕවර 10.5 ක් පමණි.

එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි 18 ක් ක්‍රීඩා කර ඇති නමුත් මෙය නවසීලන්තය අත්කරගත් තුන්වැනි තරගාවලි ජයග්‍රහණයයි. මීට පෙර එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම් සමත් වූයේ 1986 දී සහ 1999 දී පමණි.

“අපි මේ ජයග්‍රහණය සතුටින් සමරනවා තමයි. ඒත් ඉන්දියාවත් එක්ක අවසන් මහ තරගයට යන්න ඉස්සරවෙලා අපිට වැඩිපුර දවසක් විවේක ලැබුණා” යයි තාවකාලික නායක ටොම් ලෙතම් පැවසීය.

අනෙක් අතට බලන කල්හි වසර 2014 දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජය වීමෙන් පසුව, එංගලන්ත කණ්ඩායම මව්බිමේදී ලබාගත් පළමු වැනි තරගාවලි පරාජය වන්නේද මෙයයි.
“අපි හරියට සෙල්ලම් කළේ නෑ. කොහොමටවත් නෑ....”

“නවසීලන්ත කණ්ඩායමට මේ තරගයේ ගෞරවය හිමි වෙන්න ඕනෑ. ඔවුන් හැම අතින්ම අපව පරාජය කළා” යයි එංගලන්ත නායක ජෝ රූට් තරගයෙන් පසුව පැවසීය.

තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා අවසන් වන විට එංගලන්ත පිල පසුවූයේ ලකුණු 122 කට කඩුලු 9 ක් අහිමි කරගනිමිනි. ඒ වන විට එංගලන්තයේ වාසිය ලකුණු 37 ක් පමණක් වූයේය. එහෙත් අද පෙරවරුවේදී එංගලන්තයට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

මෙම ජයග්‍රහණයේ රහස නවසිලන්ත පිල මුල් ඉනිමේදී ලබාගත් වාසියයි. පිතිකරුවන් තිදෙනකුම ශතක පෙනි පෙනී දැවී ගිය නමුත් නවසීලන්ත කණ්ඩායම ලකුණු 85 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්තේය. එලෙසින්ම දෙවැනි ඉනිමේදී නවසීලන්ත පන්දු යැවීම එංගලන්ත පිතිකරුවන්ට දරාගත නොහැකි තරම් තර්ජනාත්මක විය. නවසීලන්තය වෙනුවෙන් පන්දුව අතට ගත් සිව් දෙනාම කඩුලු 10 බෙදාහදා ගත් අතර එංගලන්ත දෙවැනි ඉනිම ඕවර 41 කට සීමා විය.

 

එංගලන්තය - පළමු ඉනිම 303 යි
නවසීලන්තය - පළමු ඉනිම 388 යි.

(ඩෙවොන් කොන්වේ 80, විලියම් යංග් 82, රොස් ටේලර් 80, හෙන්රි නිකොල්ස් 21, ටොම් බ්ලන්ඩල් 34, මැතිව් හෙන්රි 12, අජාස් පතෙල් 20, ටේ‍රන්ට් බෝල්ට් නොදැවී 12, ස්ටුවර්ට් බ්‍රෝඩ් 48/4, මාක් වුඩ් 85/2, ඔලී ස්ටෝන් 92/2)
එංගලන්තය - දෙවැනි ඉනිම 122 යි
(සැක් ක්‍රෝලි 17, ජෝ රූට් 11, ඔලී පෝප් 23, ඔලී ස්ටෝන් 15, මාක් වුඩ් 29, මැතිව් හෙන්රි 36/3, ටේ‍රන්ට් බෝල්ට් 34/2, නීල් වැග්නර් 18/3, අජාස් පතෙල් 25/2)
නවසීලන්තය  -දෙවැනි ඉනිම කඩුලු 2 ට 41
(ටොම් ලෙතම් නොදැවී 23, ස්ටුවර්ර් බ්‍රෝඩ් 13/1, ඔලී ස්ටෝන් 05/1)

- 213


අදහස් (0)

නවසීලන්තය 1-0 කින් තරගාවලිය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.