Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ 6 වැනි ජය ලබති
අයි.පී.එල්.- 2022

හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ 6 වැනි ජය ලබති

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 65 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම තරගය ජයගත්තද ඔවුන්ට අවසන් වවයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා අල්පය.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ උම්රාන් මලික් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගනිමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.

තරගය ජයගැනීමට මුම්බායි පිතිකරුවන්ට අවසන් ඕවරයේදී ලකුණු 19 ක් රැස්කිරීමට සිදුවූ නමුත් හයේ පහරක් සහ හතරේ පහරක් සමග එහිදී ඔවුන්ට රැස්කරගත හැකි වූ ලකුණු සංඛ්‍යාව 15 කි. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ‍පන්දු 18 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 46 ක් රැස්කළ ටිම් ඩේවිඩ් දුවද්දී දැවී යෑමද මුම්බායි කණ්ඩායමට විශාල පාඩුවක් විය.

නායක රෝහිත් ශර්මා (48) සහ ඉෂාන් කිෂන් (43) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 36 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ කිෂන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් අතර වේගවති පිතිහරඹයක නිරත වූ රාහුල් ත්‍රිපාති පන්දු 44 කින් ලකුණු 76 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. එහිදී රමන්දීප් සිං ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ප්‍රියාම් ග්‍රාග් (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ත්‍රිපාති, ඉන් නොනැවතී නිකලස් පූරන් (38) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් හයිද්‍රාබාද් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 193
(ප්‍රියාම් ග්‍රාග් 42, රාහුල් ත්‍රිපාති 76, නිකලස් පූරන් 38, රමන්දීප් සිං 20/3)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 190
(රෝහිත් ශර්මා 48, ඉෂාන් කිෂන් 43, ටිමි ඩේවිඩි 46, රමන්දීප් සිං නොදැවී 14, උම්රාන් මලික් 23/3)

-036


අදහස් (0)

හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ 6 වැනි ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.