යාපනය - දඹුල්ල තරගය වැස්සට දියවෙයි
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 15 වැනි තරගය ලෙස යාපනය ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිංස් අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති දිනයේ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
තරගය විසඳුමකින් තොරව අවසන් වීමෙන් කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.
දඹුල්ල පිල එම ප්‍රසාද ලකුණත් සමගින් ප්‍රසාද ලකුණු නවයක් ලබා දෙවැනි ස්ථානයට පැමිණි අතර ප්‍රසාද ලකුණු අටක් ලබා දෙවැනි ස්ථානයේ පසුවූ කොළඹ පිල තෙවැනි තැනට වැටුණි.
යාපනය පිල ප්‍රසාද ලකුණු නවයක් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව තව දුරටත් පළමු ස්ථානය රැකගෙන සිටියි. ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු දෙක බැගින් ලබා පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙයි.
ක්‍රීඩාංගණයට වර්ෂාව අඛණ්ඩව පැවතීම නිසා රාත්‍රී 10.30 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
දඹුල්ල ඉනිමේ හත්වැනි ඕවරය අවසානයේ රාත්‍රී 8.38 ට පමණ වර්ෂාව ඇඳහැළීම නිසා තරග අත්හිටුවන විට කඩුලු තුනක් දැවී ලකුණු 42 ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබුණි.
නිරෝෂන් දික්වැල්ල (නොදැවී 28) සහ නායක දසුන් ශානක (නොදැවී 2) තරගය අත්හිටුවන විට පන්දුවට පහර දෙමින් සිටියහ.
ඇන්ජලෝ පෙරේරා (6) සහ සමිට් පටෙල් (1) ආසාර්ථක වීමෙන් හයවැනි ඕවරය අවසන් වන විට දඹුල්ල පිල ලකුණු 37 කට කඩුලු තුනක් දැවී තරමක අසීරු තත්ත්වයක පසුවිය.
ආරම්භක පිතිකරු ලෙස මෙම තරගයේදී ස්ථානය ලැබූ සදීර සමරවික්‍රම ලකුණු 3 කට දැවී යෑමෙන් දඹුල්ල පිලේ ආරම්භය අසාර්ථක විය.
යාපනය පිලේ නායක තිසර පෙරේරා කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.
දඹුල්ල පිල මෙම තරගයට වෙනස්කම් දෙකක් සමගින් පිවිස සිටියේය. ඒ අනුව උපුල් තරංග සහ සුදීප් ත්‍යාගි විවේක ගන්වා සදීර සමරවික්‍රම සහ ළහිරු මධුශංඛ මෙම තරගයට කැඳවා තිබුණි.
යාපනය පිල වෙනස්කම් හතරක් කරමින් ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, බිනුර ප්‍රනාන්දු සහ කයිල් ඇබට් විවේක ගන්වමින් චරිත් අසලංක, උස්මාන් ශින්වාරි, සුරංග ලක්මාල් සහ ඩුඈන් ඔලිවර් කණ්ඩායමට ඇතුළත් කර තිබුණි.
මෙම තරගයේදී දඹුල්ල පිලට සමිට් පටෙල්, සමිනුල්ලා ශින්වාරි සහ අන්වර් අලී යන විදේශ ක්‍රීඩකයන් තිදෙනා පමණක් ඇතුළත්ව සිටියහ. ෂොයිබ් මලික්, ජොන්සන් චාල්ස්, උස්මාන් ශින්වාරි සහ ඩුඈන් ඔලිවර් යන විදේශ ක්‍රීඩකයෝ සිවුදෙනා යාපනය පිලට ක්‍රීඩා කළහ.
දඹුල්ල වයිකිංස් පිල ඕවර 7 කදී කඩුලු 3 ට 42
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 28, සුරංග ලක්මාල් 14/1, ඩුඈන් ඔලිවර් 10/1, වනිඳු හසරංග 0/1)