Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු ප්‍රධාන විධායක අනුර

පාපන්දු ප්‍රධාන විධායක අනුර

editorial - 2023 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය සඳහා එහි හිටපු සභාපතිවරයෙකු වන අනුර ද සිල්වා මහතා පත් කිරීමට තීරණය වී තිබේ. ජනවාරි 14 වැනිදා පත්වූ පාපන්දු ආයතනයේ නව විධායක සභාව ගත් තීරණයකට අනුව සිල්වා මහතා අද (26) සිට එම ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

අනුර ද සිල්වා මහතා මීට පෙර අවස්ථාවකදීත් පාපන්දු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ කටයුතු කර තිබේ. අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සමගාමීව මෙරට පාපන්දු ව්‍යවස්ථාව සකස් කිරීමේ දී ප්‍රධාන විධායක නිලධාරියාට පුළුල් බලතල පැවරෙන අතර එහිදී නිලවරණයෙන් පත්වන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ලේකම්වරයා නාමික තනතුරක් බවට පත් වේ.

කෙසේ වුවත් පසුගිය වසර කීපයක්ම මෙරට පාපන්දු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය හිස්ව පැවති අතර අවසන් වරට (2017) එහි කටයුතු කර ඇත්තේ පසුගිය නිල කාලයේ (2022-23) සභාපති ධුරය හෙබවූ ජස්වර් උමාර් මහතාය.

පසුගිය සෙනසුරාදා (21) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු තරග තහනමක් පැනවී තිබෙන අතර එය ඉවත් කිරීම සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් හා කොන්දේසි මාලාවක් නිකුත් කර තිබේ.

එහි ප්‍රධානතම කොන්දේසිය වන්නේ ශ්‍රී ලංකාවේ නව පාපන්දු ව්‍යවස්ථාවට අනුගතව නිලවරණය පවත්වා අවසන් කර දෝෂ නිවැරැදි කර ගත යුතු බවයි.

මෙරට පාපන්දු පරිපාලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයට පමණක් දෙවැනි වන අතර මේ වනවිට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ වැටුප් ලබන නිලධාරීන් හා සේවක සේවිකාවන් ගණන 82කි. වසරකට ලෝක පාපන්දු ආධාර ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන 4ක් දක්වා ඉහළ නැංවීමට අන්තර් ජාතික පාපන්දු සමුළුව ශ්‍රී ලංකාවට ප්‍රතිඥා දී තිබේ.

මේ අතර ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජේ. ශ්‍රී රංගා මහතා හිටපු නිලධාරීන් පාපන්දු මූලස්ථානයේ (පාපන්දු නිවසේ) බඩුබාහිරාදිය නව විධායක සභාවට නිසි පරිදි මෙතෙක් පවරා නැතැයි පැවසීය.

ඒ හේතුවෙන් මේ දිනවල පාපන්දු මූලස්ථානයේ සේවා සඳහා විද්‍යුත් තැපෑලෙන් නිල පණිවුඩ හා ලිපි යැවීම පෞද්ගලිකව ගෙවීම් කර සිදු  කර ගන්නා බවත් එහි නිල පරිගණක පද්ධතියේ මුරපද මෙතෙක් නව විධායක සභාවට නොලැබීමෙන් එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

පාපන්දු ප්‍රධාන විධායක අනුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.