Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි ප්‍රධානීන් 9 කට තහනමක්

කබඩි ප්‍රධානීන් 9 කට තහනමක්

editorial - 2022 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දේශීය කබඩි ක්‍රීඩාව අගතියට පත් කිරීමේ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව හා යුද හමුදාවට අයත් කබඩි ක්‍රීඩා සමාජ ප්‍රධානීන් නව දෙනෙකුට වසර තුනක් බල පැවැත්වෙන පරිදි කබඩි ක්‍රීඩා තහනමක් පැනවීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය අද (15) තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් එහි ලේකම් ආර්. සහීවන් මහතා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩල වෙත දැනුම් දී ඇත්තේ තහනමට ලක්වූ නිලධාරීන්ට දේශීය හෝ විදේශීය වශයෙක් කබඩි ක්‍රීඩාවට ඍජුව හෝ වක්‍රව කිසිදු ක්‍රියාකාරීත්වයකට එකී තහනම ගෙවෙන තුරු මැදිහත්විය නොහැකි බවයි. එවැනි ක්‍රියාකාරකමක් සිදු කෙරෙන පරිශ්‍රයක රැඳී සිටීමත් ඔවුන්ට තහනම් වන බව එම දැනුම් දීමේ දැක්වේ.

ජාතික කබඩි සංචිතවලට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගින් දිගටම සහභාගී කරවීම වළක්වාළමින් එහි කටයුතුවලට බාධා පැමිණවීමේ චෝදනා ලැබූ මෙම තහනමට ලක්වූ නිලධාරීන් ගුවන් හමුදාව, නාවික හමුදාව හා යුද හමුදාවට අයත් කබඩි ක්‍රීඩා සමාජවල ප්‍රධාන තනතුරු දැරුවෝ වෙති.

මේ සම්බන්ධයෙන් ‘‘ලංකාදීප’’ ය කළ විමසුමකදී කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසුවේ තහනම බලපැවැත්වෙන මෙම නිලධාරීන්ට දින 14 ක් ඇතුළත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි.

එසේම මෙම නිලධාරීන්ට පැනවූ තහනම ඔවුන් නියෝජනය කරන කබඩි ක්‍රීඩා සමාජවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෝ සාමාජිකත්වයට කිසිදු ආකාරයෙන් බලපෑමක් නොකෙරෙන බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

සෙනසුරාදා (14) රැස්වූ කබඩි සම්මේලනයේ විධායක සභාව ගත් තීරණයන්ට අනුව ඔවුන්ට තුන් අවුරුදු තහනමක් පනවා තිබේ. කබඩි සම්මේලනය වාර්ෂිකව පවත්වන ජාතික කබඩි ශූරතා තරගාවලිය ක්‍රීඩා සමාජ පදනමෙන් බැහැර කර දිස්ත්‍රික් කණ්ඩායම් පදනමෙන් පැවැත්වීමට ගත් තීරණය කබඩි සම්මේලනය හා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සමාජ දෙපාර්ශවය අතර අර්බුදයක් නිර්මාණය වීමේ ආසන්නතම සිදුවීම විය.

එහි ප්‍රතිඵලයක් ලෙස කබඩි සම්මේලනයට විරෝධය පළ කරමින් ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිත දෙකෙන් බහුතරයක් වන ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉවත් කර ගැනීමටද ගුවන්, නාවික හා යුද හමුදා කබඩි ක්‍රීඩා සමාජ කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ලැබුණු පැමිණිලි මත විමර්ෂණයක් කිරීමට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද කටයුතු කළේය. කෙසේ වුවත් එහි නිගමන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
මෙහිදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අදළ සිදුවීම්වලදී වඩාත් විරෝධාකල්පයකින් කටයුතු කළ බවට කබඩි සම්මේලනයෙන් චෝදනා එල්ල වී තිබේ.

තුන් වසරක තහනමට ලක්වූ ත්‍රිවිධ හමුදාවේ කබඩි නිලධාරීන් අතර ටී.එස් කොලොන්න හා ආර්.පී.සී. සුසන්ත යන මහත්වරු කබඩි සම්මේලනයේ උප සභාපතිවරුන් ද වෙති.
ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කබඩි සංචිත හැරයාමෙන් පසුව මෑතකදී නව ජාතික කබඩි සංචිත ස්ථාපිත කිරීමට කබඩි සම්මේලනය පියවර ගත්තේය. ඒ ශ්‍රී ලංකාවේ සේවයට කැඳවා ගත් ඉන්දීය කබඩි පුහුණුකරු කේ. බාස්කරන් මහතා යටතේය.

ලබන වසරට නොබෝදා කල්දමනු ලැබූ චීනයේ හන්ජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් කැඳවා තිබූ ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිතයන්හි නේවාසික පුහුණුවීම් ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩා සමාජ ප්‍රධානීන්ගේ ඉහත හැසිරීමෙන් කඩා වැටුණු බවත් කබඩි සම්මේලනය වැඩිදුරටත් චෝදනා කරති.

වාර්තාවන පරිදි ජාතික සංචිත හැරගිය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා කබඩි (පිරිමි) කණ්ඩායමේ නායකත්වයට නිර්දේශ වී තිබුණි.

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ විධායක සභාව තුන් වසරකට තහනමට ලක් කළ ත්‍රිවිධ හමුදා කබඩි ප්‍රධානීන් මෙසේය.
ගුවන් හමුදාව :- කබඩි ක්‍රීඩා සමාජයේ සභාපති - ගෲප් කපිතාන් එන්.ඒ. ගාල්ලගේ, ලේකම් - ගෲප් කපිතාන් පී.එන්. ප්‍රනාන්දු, කළමනාකරු - බලලත් නිලධාරි රියන් ගුණතුංග.
නාවික හමුදාව :- කබඩි ක්‍රීඩා සමාජයේ සභාපති - කොමදෝරු ටී.එස්. කොළොන්න, ලේකම් - ලුතිනන් කොමදෝරු ජී.වී.ඩී. දර්ශන, නියෝජිත - ආර්.පී.සී. සුසන්ත.
යුද හමුදාව :- කබඩි ක්‍රීඩා සමාජයේ සභාපති - බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද, ලේකම් - මේජර් ඩී.එන්.පී. කරුණාරත්න, නියෝජිත - බලලත් නිලධාරි පී.ජී.එම්.අයි. ගමගේ.


අදහස් (0)

කබඩි ප්‍රධානීන් 9 කට තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.