Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක කුසලාන තරගාවලියේ පුහුණුකරු තිලකා

ලෝක කුසලාන තරගාවලියේ පුහුණුකරු තිලකා

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා තිලකා ධම්මිකා ජිනදාස මෙනවිය යළිත් වතාවක් නිර්දේශ වී තිබේ. ඇය මීට පෙර වසර 2009 හා 2018 යන වසරවලදීත් මෙම ධුරයේ කටයුතු කර තිබේ.

ඒ අනුව තෙවැනි වතාවටත් ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා නිර්දේශ වී සිටින 59 හැවිරිදි ජිනදාස මෙනවියට පැවරෙන ආසන්නතම වගකීම වන්නේ ලබන ජුලි 28 සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හිදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සූදානම් කිරීමයි.

කෙසේ වුවත් ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා වසර 2022 ආසියානු දැල්පන්දු කුසලාන දිනූ ශ්‍රී ලංකාව එහි අනුශූරතාව ලද සිංගප්පූරුව ඇතුළු රටවල් 16ක් නිර්දේශ ලබා සිටිති.

ජිනදාස මෙනවිය බෲනායි රාජ්‍යයේ ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයේද මීට පෙර වසර කීපයක්ම කටයුතු කර තිබේ. පසුගිය ඉරිදා (22) ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කැඳවූ ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය පිරවීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා ජිනදාස මෙනවිය හැරෙන්නට හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ හා හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනියක වන සොමිතා අල්විස් යන මහත්මීන් ද අයැදුම්පත් යොමුකර තිබුණි.

එහිදී දැල්පන්දු සම්මේලනයට විරෝධය පළ කරමින් සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිටීමට හයිසින්ත් විජේසිංහ මහත්මිය කටයුතු කළාය. නව පත්වීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට පෙර ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය ලබාගත යුතුව ඇත.

තිලකා ජිනදාස මෙනවිය දැල්පන්දු ක්‍රීඩා ක්‍ෂේත්‍රයට පිවිසීමට පෙර 1988 දකුණු කොරියාවේ සෝල් නුවර පැවැති ඔලිම්පික් උළෙල සඳහා මීටර් 100 කඩුලු පැනීමේ (කාන්තා) ඉසව්වෙන් තරග වැදුණු දකුණු ආසියානු මලල ක්‍රීඩා රන් පදක්කම්ලාභිනියක් ද වේ.

ක්‍රීඩා සමාජ හා ජාත්‍යන්තර පාසල් කිහිපයකත් ප්‍රධාන දැල්පන්දු උපදේශිකාවක් ලෙස කටයුතු කර ඇති ඇය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි.


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලියේ පුහුණුකරු තිලකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.