Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජෝෂප් ක්‍රීඩකයෝ තෝමසුවන් පරදවති
ඩයලොග් පාසල් රග්බි

ජෝෂප් ක්‍රීඩකයෝ තෝමසුවන් පරදවති

editorial - 2022 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'ඒ' කාණ්ඩය යටතේ අද (2 වැනිදා) පැවති තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 30-28 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.මෙම තරගය ජයගැනීම හේතුවෙන් ‘ගුණතිලක ආර්යා’ කුසලානට හිමිකම් කීමට‍ද ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ හැව්ලොක් පිටියේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. එහිදී ශාන්ත ජෝෂප් ක්‍රීඩකයින් ගෝල දිනුමක්  සහ උත්සාහක දිනුම් දෙකක් සමගින් ලකුණු රැස් කළ අතර සාන්ත තෝමසුවන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.

තරගයේ දෙවැනි විනාඩියේදී ශාන්ත ජෝෂප් විදුහල  වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ නවීන් මාරසිංහ උත්සාහක දිනුමක් ලබා ගත් නමුත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට සුබාෂ් දිල්හාර අපොහොසත් විය. හයවැනි විනාඩියේදී සාන්ත තෝමසුවන්ට හිමිවූ දඩුවම් පහරක් සාර්ථක කරගත් යෙහාන් බුලත්සිංහල ලකුණු තත්ත්වය 05-03 ක් බවට පත් කළේය.

ඉන් නොනැවතුණු යෙහාන් 12 වැනි විනාඩියේදී චාර්ය කුරුකුලසූරිය ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් ලකුණු 10-05 ලෙස සාන්ත තෝමස් විදුහල ඉදිරියට ගෙන ආවේය. එහෙත් 22 වැනි විනාඩියේදී ජෙහාන් අතුකෝරල ලබාගත් උත්සාහක දිනුමත් සමග කණ්ඩායම් දෙකේ ලකුණු තත්ත්වය සම වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුභාෂ් දිල්හාර, ශාන්ත ජෝසප් විදුහල යළිත් වරක් තරගයේ පෙරමුණට ගෙන ආවේය.

පළමු අර්ධය අවසන් වීමට විනාඩියක් ඉතිරිව තිබියදී එනම් 34 වැනි විනාඩියේදී ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට නවීන් මාරසිංහ සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට සුභාෂ් දිල්හාරට නොහැකි විය. ඒ අනුව ලකුණු 17-10 ලෙස පළමු අර්ධය නිමාවට පත්විය.

දෙවැනි අර්ධයේදී ශාන්ත ජෝසප් විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර දෙකක් සමගින් ලකුණු රැස් කළ අතර සාන්ත තෝමස් විදුහල ලකුණු රැස් කළේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර දෙකක් සමගිනි. එහෙත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසන් වන විට ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 2 ක තියුණු ජයක් හිමිවිය.

තරගයේ 38 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබා ගනිමින් එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරගත් යෙහාන් බුලත්සිංහල, ලකුණු 17-17 ක් ලෙස දෙවැනි වරටත් කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට පත් කළේය. කෙසේ වුවත් 40 වැනි සහ 43 වැනි විනාඩිවලදී පිට පිටම දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් සුභාෂ් දිල්හාර, ශාන්ත ජෝසප් විදුහල ලකුණු 6 කින් ඉදිරියට ගෙන ගියේය.

තරගයේ 47 වැනි විනාඩියේදී ශාන්ත තෝමස් විදුහලට හිමි වූ දඩුවම් පහරක් සාර්ථක කරගැනීමට යෙහාන් සමත් වුවත්, 59 වැනි විනාඩියේදී ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් සිය තෙවැනි උත්සාහක දිනුමත් ලබාගත් නවීන් මාරසිංහ තරගයේ වැඩි ගෞරව තමන් සතුකර ගත්තේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් සුභාෂ්  කණ්ඩායම් දෙකේ ලකුණු පරතරය 10 දක්වා වැඩි කළේය.

තරගයේ අවසන් (70 වැනි) විනාඩියේදී සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් යෙහාන්, අතිරේක කාලයේදී එනම් 72 විනාඩි විනාඩියේදී උත්සාහක දිනුමක්ද ලබා ගනිමින්  කණ්ඩායම් දෙක අතර පැවති ලකුණු පරතරය අඩු කළේය. එහෙත් එම උත්සාහාක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ඔහු අපොහොසත් වීම නිසා ශාන්ත තෝමස් විදුහලට ලකුණු 2 තියුණු පරාජයක් අත්විඳිමට සිදුවිය.

(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

ජෝෂප් ක්‍රීඩකයෝ තෝමසුවන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.