Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 4 ක ජයක් ලබති

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 4 ක ජයක් ලබති

editorial - 2022 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ ඉන්දීය කාන්තා කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 38 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ඕෂධී රණසිංහ යැවූ ඉන්දීය කාන්තා ඉනිමේ 38 වැනි ඕවරයේ අවසන් පන්දුවට හතරේ සීමාවට ඉහළින් යැවූ පූජා වස්ත්‍රකාර් (නොදැවී 21) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය. 

පන්දු 41 කදී නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය දීප්ති ශර්මාට අනගි සහායක් දුන් පූජා, පන්දු 19 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහර 2 කින් සැරසුවාය. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ දීප්ති තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූ නායිකා හර්මන්ප්‍රීත් කෝර් පන්දු 63 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළාය. පන්දු 40 කට මුහුණදුන් ශිෆාලි වෙර්මා (35) හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර පන්දු 40 කදී වාර්තා වූ හර්ලීන් ඩියෝල්ගේ (34) ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. 

ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ශිෆාලි සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හර්මන්ප්‍රීත්, ඉන් නොනැවතී හර්ලීන් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවවාය. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර එහිදී හර්මන්ප්‍රීත්, ශිෆාලි සහ හර්ලීන්ගේ කඩුලු 3 ද සමගින් ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගත්තාය. ලකුණු 34 කට ඉන්දීය කාන්තා කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිණියන් දෙදෙනකු පිටියෙන් ඉවත් කිරීමට ඕෂධී රණසිංහ සමත් වූවාය. කෙසේ වුවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන් දෙදෙනාට නොහැකි වූහ.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි. එහිදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දීප්ති ශර්මා සහ රේනුකා සිං කඩුලු 3 බැගින් දවාගත්හ. ශ්‍රී ලංකා කාන්තා ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඔවුන් දෙනොට අනගි සහායක් දුන් පූජා වස්ත්‍රකාර් ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය. 

ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නිලක්ෂි ද සිල්වා පන්දු 63 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූවාය. ලකුණු 84 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී අනුෂ්කා සංජීවනී (18) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිලක්ෂි සමත් වූවාය.

නායිකා චමරි අතපත්තු ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියද, සෙසු ආරම්භක පිතිකාරිණිය වූ හසිනි පෙරේරා පන්දු 54 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය. එහිදී ඇයට අනගි සහායක් දුන් හර්ෂිතා මාධවී පන්දු 54 කදී ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 171 
(හසිනි පෙරේරා 37, හර්ෂිතා මාධවී 28, නිලක්ෂි ද සිල්වා 43, අනුෂ්කා සංජීවනී 18, ඉනෝකා රණවීර 12, දීප්ති ශර්මා 25/3, රේනුකා සිං 29/3, ජූජා වස්ත්‍රකාර් 26/2) 

ඉන්දීය කාන්තා පිල - ඕවර 38 කදී කඩුලු 6 ක් දැවී 176 
(ශෆාලි වෙර්මා 35, හර්මන්ප්‍රීත් කෝර් 44, හර්ලීන් ඩියෝල් 34, දීප්ති ශර්මා නොදැවී 22, පූජා වස්ත්‍රකාර් නොදැවී 21, ඉනෝකා රණවීර 39/4, ඕෂධී රණසිංහ 32/2) 

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 4 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.