Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෘනාල්ට කොරෝනා - අද තරගය හෙටට

කෘනාල්ට කොරෝනා - අද තරගය හෙටට

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය)

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27 වැනිදා) පැවැත්වීමට තිබූ දෙවැනි විස්සයි-20 තරගය හදිසියේම දිනයකින් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවී තිබේ. අද පෙරවරුවේදී කළ වෛද්‍ය පරීක්‍ෂණ වලින් පසුව, ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කෘනාල් පාණ්ඩ්‍යාට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මෙම තරගය කල්දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීහු පියවර ගත්හ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග දෙක හෙට සහ අනිද්දා (28 සහ 29) දිනවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. ඉරිදා පැවැති පළමු තරගයේදී ලකුණු 38 ක ජයක් ලබාගත් ඉන්දීය කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.

ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාවකට වඩා පී.සී.ආර්. පරීක්‍ෂණ නිරවද්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැනට භාවිතා කරනු ලබන ක්‍රමවේද අනුව පැය 3 ත් 4 ත් ඇතුළත පී.සී.ආර්. පරීක්‍ෂණයක ප්‍රතිඵල නිවැරදිව ලබාගත හැකි බවත් දැනගන්නට තිබේ. ඒ අනුව හෙට උදෑසන සියලුම ක්‍රීඩකයන් සහ නිලධාරීන් නැවතත් පරීක්‍ෂණයන්ට ලක් කළද දහවල් 12.00  වන විට ඒවායේ ප්‍රතිඵළ ලබාගත හැකිය.

තරගය ආරම්භ වන්නේ රාත්‍රී 8.00 ට බැවින් ක්‍රීඩකයන් 14 දෙනකුවත් පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් සමත්වන්නේ නම් තරගාවලිය හෙට සහ අනිද්දා පැවැත්වීමේ වැඩි සම්භාවිතාවක් තිබේ. එහෙත් යම් හෙයකින් අද (27) සවස හෝ හෙට (28) උදෑසන කරනු ලබන පී.සී.ආර්. පරීක්‍ෂණවලදී වැඩිදුර අසාදිතයන් හමුවුවහොත් තරගාවලිය තවදුරටත් කල්යාමට ඉඩ තිබේ.
 
තරගාවලියක් පැවැත්වෙද්දී, සෞඛ්‍ය නිර්දේශානුකූලව, තරගාවලියේ සංවිධායකයන් විසින් කළ යුතු පරීක්‍ෂණ වලින් පසුව කෘනාල් පාණ්ඩ්‍යාට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු විය. ඒ අනුව ඔහුගේ ආශ්‍රිත ක්‍රීඩකයන් 8 දෙනකුද මේ වන විටත් හුදෙකළා කර තිබේ. කෘනාල් පාණ්ඩ්‍යා, ඉන්දීය කණ්ඩායමේ සිටින ඉදිරි පෙළ තුන්ඉරියව් ක්‍රීඩකයකු වන හර්දික් පාණ්ඩ්‍යාගේ වැඩිමහල් සහෝදරයාය.

“කෘනාල්ගේ ආශ්‍රිතයන් 8 දෙනකු අපගේ වෛද්‍ය කණ්ඩායම් විසින් හඳුනාගනු ලැබ තිබෙනවා...”

“වෛරසය තවදුරටත් පැතිරී තිබේද යන්න ගැන සොයා බැලීම සඳහා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම අද සවස පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා මුහුණ දිය යුතුයි” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද සවස නිකුත් කරන ලද නිවේදනයක සටහන් වී තිබිණ.

 

 


අදහස් (0)

කෘනාල්ට කොරෝනා - අද තරගය හෙටට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.