Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිළිණි - තර්ජනී ඇතුළට එති

තිළිණි - තර්ජනී ඇතුළට එති

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට (2022) පසුගිය අඟහරුවාදා (9) නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනී ෂිවලිංගම් හා තිළිණි වත්තේගෙදර අලුතෙන් ඇතුළත් වී තිබේ. ඒ, කලින් නිර්දේශ කර පසුව අවලංගු කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි තිසාලා අල්ගම හා භාෂිණී ද සිල්වා වෙනුවටය.

සුගතදාස ගෘහස්ථ පිටියේදී අඟහරුවාදා කළ විශේෂ තේරීම් පරීක්ෂණය සඳහා ජාතික දැල්පන්දු තේරීම් කමිටුව හැරුණු කොට විශේෂ තාක්ෂණික කමිටුවක හා ජාතික ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසකගේ ද සහයෝගය ලබාගැනුණි.

12 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලිය ලබන සැප්තැම්බර් 4 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වේ.

ආසියානු තරග සංචාරය සඳහා ගයංජලී අමරවංශගේ නායකත්වයෙන් යුතුව 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමක් හා අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකුගේ සංචිතයක් මීට පෙර ජාතික දැල්පන්දු තේරීම් කමිටුව නිර්දේශ කර තිබියදී එය අවලංගු කරමින් නැවත අවසන් තේරීම් තරගයක් කැඳවූයේ ක්‍රීඩිකා තිළිණි වත්තේගෙදර ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කළ අභියාචනය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, අභියාචනය ජය ගනිමින් නැවත නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට තිළිණි වත්තේගෙදර සමත්ව සිටින්නීය.

ජාතික පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ මහත්මිය දැඩිව ඉල්ලා සිටි පරිදි දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන තර්ජනී ෂිවලිංගම් ද ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 12 දෙනාට ඇතුළත් කිරීමට ජාතික දැල්පන්දු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහෙත්, ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකාවක් වන මරීෂා ප්‍රනාන්දු ඊයේ තේරීම් සඳහා ද සහභාගි වුවත්, ඇයට මෙවරත් කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත.

නැවත කළ අවසන් තේරීම් සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනකු සහභාගි වී තිබේ.

12 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට නැවත නිර්දේශ කළ (සංශෝධිත) ශ්‍රී ලංකා කණ්ඩායම (පළමු 12 දෙනා)
ගයංජලී අමරවංශ (නායිකා), දුලංගි වන්නිතිලක, සේමිනි අල්විස්, හසිකා මෙන්ඩිස්, චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක, රෂ්මි දිව්‍යාංජලී, දීපිකා දර්ශනි, විදූෂා පෙරේරා, මල්මි හෙට්ටිආරච්චි, තිළිණි වත්තේගෙදර හා තර්ජනී ෂිංවලිංගම්.


අදහස් (0)

තිළිණි - තර්ජනී ඇතුළට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.