Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්

දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කගීසෝ රබාඩා (34/5) සහ ඇන්රික් නෝයේ (46/3) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා තරගාවලියට කදිම ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකානුවෝ කොදෙව් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 63 ක පහසු ජයක් අත්කරගත්හ. ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය එහි තුන්වැනි දිනයේ දිවා ආහාරයට පෙරම නිමාවට පත්විය.

තරගයේ පළමු දිනයේදීම කොදෙව් පිල ලකුණු 97 කට දැවී ගියද එහිදී රබාඩාට දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි. එහෙත් පළමු ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් ඇන්රික් නෝයේ කොදෙව්වන් අසරණ කළේය. දෙවැනි ඉනිමේදී දකුණු අප්‍රිකානු පන්දු යැවීමේ බලඇණියේ පෙරමුණ ගත් රබාඩා ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගත්තේය. එය රබාඩා ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 10 වැනි අවස්ථාව විය.

ලකණු 225 ක් පසුපසින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ කොදෙව්වෝ රබාඩා සහ ඇන්රික් නෝයේ හමුවේ ලකුණු 162 කට දැවී ගියහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් නොදැවී ලකුණු 141 ක් ලබාගත් ක්වින්ටින් ඩි’කොක් තරගයේ වීරයා වශයෙන් සම්මාන ලැබීය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ යම් තරමක හෝ ප්‍රතිරෝධයක් දැක්වූයේ ලකුණු 62 ක් ලබාගත් රොස්ටන් චේස් පමණි. දෙවැනි ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව කිරන් පවෙල්ගේ ලකුණු 14 යි.

කිරන් පවෙල්ද මෙම කණ්ඩායමේ සිටි අතිරේක ක්‍රීඩකයා වූ අතර ඔහු පිටියට පිවිසියේ මැදපෙළ පිතිකරු නිකෲමා බෝනර්ගේ හිසට පන්දුවක් වැදීමෙන් ඔහු ප්‍රකම්පනයට පත්ව තරගයෙන් ඉවත් වූ බැවිනි. රබාඩා සහ ඇන්රික් නෝයේ දෙදෙනාට කේෂව් මහාරාජ්ගෙන් මනා සහයෝගයක් ලැබිණ. ජේසන් හෝල්ඩර් මෙන්ම අර්ධ ශතකයක් ලබාගත් රොස්ටන් චේස් දෙදෙනාම මහාරාජ් හමුවේ දැවී ගියහ.

රබාඩා යැවූ වේග පන්දුවක් වම් වැළමිටේ වද්දාගත් ජොෂුවා ද සිල්වා, එහි වේදනාව දරා ගනිමින් පන්දුවට පහර දුන්නේය. මඳ වේලාවකට පසුව රබාඩාගේම පන්දුවක් නිදැල්ලේ යාමට ඉඩ හළ ජොෂුවාගේ වම් ඉන්න ඉදිරී, කැරකී ගියේ කරත්ත රෝදයක ගරාදි සිහිගන්වමිනි.

“අපි ශ්‍රේණිගත සටහනේ පහළට ලිස්සාගෙන ගිය විදිහත්, පසුගිය මාස කිහිපයේදී සිදුවූ දේවල් එක්කත් බලන කොට මේ ජයග්‍රහණය අපට ඉතාමත් වටිනවා..... ඒ කොහොම වුණත්, මේ ජයග්‍රහණයත් එක්ක අපි අන්ධ විශ්වාසයකට එන්නේ නෑ. නැවතත් සාමාන්‍ය තත්ත්වයට එන්නත්, ඊළඟ තරගයට සූදානම් වෙන්නත් අපට වැඩිපුර දින දෙකක්ම තියෙනවා” යයි දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගා ජයග්‍රහණයෙන් අනතුරුව පැවසීය.

මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය 18 වැනිදා ආරම්භ වීමට නියමිතය.


බටහිර ඉන්දීය කොදෙව්  - පළමු ඉනිම 97 යි
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 322 යි

(ඒඩ්න් මාක්රම් 60, කීගන් පීටර්සන් 19, රාසි වැන්ඩර් ඩසන් 46, ක්වින්ටින් ඩි’කොක් නොදැවී 141, වියාන් මල්ඩර් 25, කෙමර් රෝච් 64/2, ජේසන් හෝල්ඩර් 75/4, ජේඩන් සීල්ස් 75/3)

බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම 162 යි
(කිරන් පවෙල් 14, ෂායි හෝප් 12, රොස්ටන් චේස් 62, කයිල් මිල්ස් 12, ජර්මෙන් බ්ලැක්වුඩ් 13, කෙමර් රෝච් නොදැවී 13, කගීසෝ රබාඩා 34/5, ඇන්රික් නෝයේ 46/3, කේෂව් මහාරාජ් 23/2)

- 213

 


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.