Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය සාර්ථක ගමනක

නවසීලන්තය සාර්ථක ගමනක

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය වූ අද (11 වැනිදා) තරගය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 229 ක් රැස්කිරීමට නවසීලන්තය සමත්විය. ඒ අනුව එංගලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 74 ක් පසුපසින් නවසීලන්තය සිටින්නේය.

අවසන් කඩුල්ල ලෙස විල් යංග් ලකුණු 82 කට දැවීයාමත් සමගින් දෙවැනි දිනට තරගය අවසන් කළ අතර රොස් ටේලර් ලකුණු 46 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගනිමින් සාර්ථක ගමනක නිරතව සිටි ඩෙවොන් කොන්වේ සහ විල් යංග් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඩෙවොන් කොන්වේ ලකුණු 80 කට දවාගැනීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත්විය.

රෝරි බර්න්ස් සහ ඩැනියෙල් ලෝරන්ස් ලබාගත් අර්ධ ශතක දෙකත්, පසුපෙළ පිතිකරු මාක් වුඩ්ගේ ධෛර්වයත් පිතිහරඹයත් හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 303 ක් ලබාගත්තේය.

පළමු දින සන්ධ්‍යාවේ තරගය නතර කරන විට නොදැවී ලකුණු 67 ක් ලබා සිටි ඩැනියෙල් ලෝරන්ස් එංගලන්ත ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 81 ක් ලබා සිටියේය. එහෙත් ලකුණු 16 ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කළ මාක් වුඩ් සහ ලෝරන්ස් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 66 ක සම්බන්ධතාව නිසා එංගලන්ත කණ්ඩායමට ලකුණු 300 කඩයිම පැනගත හැකි විය.

එංගලන්තයට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ටේ‍රන්ට් බෝල්ට් පිටියට පිවිසි පළමු අවස්ථාවේදීම ලකුණු 85 කට කඩුලු 4 ක් දවාගත්තේ නවසීලන්ත පිලේ සාර්ථකම පන්දු යවන්නා වෙමිනි. වමත් වේග පන්දු යවන්නාට අනගි සහයක් දුන් මැතිව් හෙන්රි ලකුණු 78 කට කඩුලු 3 ක් දවාගත්තේය. මේ දෙදෙනා එක්ව නියමිත ඉලක්කයකට පන්දු යවමින් එංගලන්ත පිතිකරුවන් දමනය කරගෙන සිටි නමුත් අවස්ථාව ලැබුණ සැණින් ඩ්‍රයිව් හෝ පුල් පහර කරා යාමට ලෝරන්ස් මෙන්ම මාක් වුඩ්ද පසුබට නොවූහ.

ලකුණු 288 දී වුඩ් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු නොලබාම දැවී ගිය බැවින් ලකුණු  පුවරුව කඩුලු 9 ට 288 ක් විය. එහෙත් 18,000 ක් වූ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ,  එංගලන්තය වෙනුවෙන් වාර්තාගත 162 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජේම්ස් ඇන්ඩසන් පිටියට පිවිසියේය. ඒ වන විට ලකුණු 71 ක් ලබා සිටි ලෝරන්ස් සහ ඇන්ඩසන් එක්ව ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් එපිටට ගෙන ගියහ.


එංගලන්තය - පළමු ඉනිම 303
(රෝරි බර්න්ස් 81, ඩොමිනික් සිබ්ලි 35, ඔලී පෝප් 19, ඩැනියෙල් ලෝරන්ස් නොදැවී 81, ඔලී ස්ටෝන් 20, මාක් වුඩ් 41, ටේ‍රන්ට් බෝල්ට් 85/4, මැතිව් හෙන්රි 78/3, අජාස් පතෙල් 34/2)

නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 3 ට 229 යි
(ටොම් ලෙතම් 15, ඩෙවොන් කොන්වේ 80, විල් යංග් 82,
රොස් ටේලර් නොදැවී 46, ස්ටුවර්ට් බ්‍රෝඩ් 22/2)

- 213

 

 

 


අදහස් (0)

නවසීලන්තය සාර්ථක ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.