Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු ලීග සතු ඡන්දය අහෝසි කරන්න යයි
2023 නිලවරණ

පාපන්දු ලීග සතු ඡන්දය අහෝසි කරන්න යයි

editorial - 2023 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේ දී ‘ලීග’ වෙත ලබාදී තිබෙන ඡන්ද බලය අහෝසි කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසයි.
රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශයේ දී සුපර් ලීග් හා ශූරයන්ගේ ලීග් යන ක්‍රීඩා සමාජ සංසදයන්හි ප්‍රධානින් ඊයේ (27) මුණගැසෙමින් පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කර තිබේ. 

ක්‍රීඩා ඇමතිවරයා සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවට සුපර් ලීග් ක්‍රීඩා සමාජ සංසදයේ සභාපති රෝහිත ප්‍රනාන්දු, ශූරයන්ගේ ක්‍රීඩා සමාජ සංසදයේ සභාපති සාගර පියතිලක යන මහත්වරුන් ඇතුළු එම සංසදයන්හි ප්‍රධානින් පිරිසක් සහභාගි වූහ.

මෙම සංසදයන්හි ක්‍රීඩා සමාජ එකතුව 24 කි. එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ පවතින පාපන්දු ලීග ක්‍රමයෙන් රටේ පාපන්දු ක්‍රීඩාවට සෙතක් සිදුවී නැති බවයි.

පාපන්දු ආයතනයේ නිලවරණයේ දී යොදාගත හැකි නව ඡන්ද ඒකක පිළිබඳව ඊයේ සාකච්ඡාවේදී අදහස් ඉදිරිපත්වී ඇත. එහිදී ඉදිරිපත්වූ නව ඡන්ද ඒකක ක්‍රමයට ඇමතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර පළවී තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් හා කලාප 25ක්, පළාත් නවයක් හා අදාළ සංසද දෙකට අයත් ක්‍රීඩා සමාජ 24ක් සඳහා පාපන්දු නිලවරණයේ දී ඡන්ද බලය ප්‍රදානය කළ යුතු බවට යෝජනා ඉදිරිපත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනය පත්කර ගැනීම සඳහා යොදාගන්නා නව ඡන්ද ඒකක පිළිබඳව සකස් කෙරෙන කෙටුම්පතක් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ අධ්‍යයනයට හා ඒ සම්බන්ධ උපදෙස් ලබාගැනීම සඳහා යොමු කිරීම උචිත බව එහිදී ක්‍රීඩා ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

ජනවාරි 14 වැනිදා පාපන්දු ආයතනයේ පැවති මතභේදාත්මක නිලවරණයේ දී පළමු වතාවට පාපන්දු ලීගයක් සඳහා එක් ඡන්දයක් බැගින් පමණක් ප්‍රදානය කෙරුණි. මීට පෙර එය එක් ලීගයක් සඳහා ඡන්ද තුනක් බැගින් විය.


එදින පැවති නිලවරණයට සහභාගි වූ ලීග ගණන 59 කි. කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ කටයුතු මුළුමනින්ම ඇණහිටින තත්වයක් උද්ගතවී ඇත්තේ ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තහනමක් පැනවීමෙනි.

මේ වනවිට තත්වය කොතරම් බරපතළ ද යත් එදින විධායක සභාවට තේරී පත්වූ නිලධාරීන්ගෙන් ඉතිරිව ඇත්තේ සිව් දෙනෙකු පමණි. ඒ අතර වත්මන් සභාපති ජේ ශ්‍රී රංගා මහතා ලබන මැයි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහාධිකරණය නියම කර තිබේ. ඒ ඔහුට එරෙහිව පවරා තිබෙන නඩුවක් හමුවේය. 

ලබන මැයි 31 වැනිදාට පෙර පාපන්දු ආයතනයේ නිලවරණය කැඳවන්නේ නම් පළමුව සිදු කළ යුතු නිලවරණ කමිටුව පත් කර ගැනීම සඳහා අවම වශයෙන් මේ මස 31 වැනිදාට පෙරවත් විශේෂ මහ සභාවක් කැඳවිය යුතුය. ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ පාපන්දු නිලවරණය කැඳවීම සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නැති බවයි.

කෙසේ වුවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ ඉදිරි නිලවරණය පැවැත්වීම සඳහා වන ක්‍රීඩා ඇමතිවරයාගේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කීපය තුළදී ප්‍රකාශයට පත්වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

තාවකාලික අතුරු කමිටුවක් පත් කිරීමේ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍යවරයාට ඉදිරිපත්ව තිබෙන නමුදු නීතිපතිවරයාගේ උපදෙස් මත එය අත්හිටුවා තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ. භාණ්ඩාගාරිකවරයා ඉවත්වීමෙන් මේ වනවිට පාපන්දු ආයතනයේ මුල්‍ය කටයුතු පවත්වාගෙන යාමද මුළුමණින්ම ඇනහිට තිබේ.

 


අදහස් (0)

පාපන්දු ලීග සතු ඡන්දය අහෝසි කරන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.