Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිටියේ වැටුණු එරික්සන් තවමත් රෝහලේ

පිටියේ වැටුණු එරික්සන් තවමත් රෝහලේ

editorial - 2021 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජූනි 13 වැනිදා - කොපෙන්හෙගන් (රොයිටර්)

යුරෝ 2020 පාපන්දු තරගයකදී හෘදයාබාධයක් හේතුවෙන් පිටිය මැදදී ඇද වැටුණු ඩෙන්මාර්කයේ මැද පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියන් එරික්සන් අද (13 වැනිදා) පස්වරුව වන තුරුත් කොපෙන්හෙගන් නුවර රෝහල්ගතව සිටියේය. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව වෛද්‍යවරුන් තහවුරු කරන්නේ යයි ඩෙන්මාර්ක පාපන්දු සංගමය නිවේදනය කරයි.

ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය අතර පැවැති යුරෝ කුසලාන පාපන්දු තරගයක 42 වැනි විනාඩියේදී ක්‍රිස්ටියන් එරික්සන් හදිසියේම බිම ඇද වැටුණේය. එ සමගම ඔහුව රෝහල්ගත කෙරුණු අතර ඔහුට හෘදයාබාධයක් ඇතිවී තිබූ බව වෛද්‍යවරු තහවුරු කළහ.

පිටියේ ඇද වැටීමෙන් පසු ඔහුගේ නාඩි වැටීම නතර වී තිබූ බව ඩෙන්මාර්ක් කණ්ඩායමේ වෛද්‍යවරයා තහවුරු කළේය. වෛද්‍ය කණ්ඩායම් ඔහුව රෝහලට ගෙන ගොස් ඇත්තේ බාහිර තෙරපුම් මගින් හෘදය සම්බාහනය කරමිනි.

“අපි අද උදේ ඔහුට කතා කළා. එයා එයාගේ කණ්ඩායම් සගයන්ට සුබ පැතුවා. ඔහුගේ තත්ත්වය ස්ථාවරයි. ඒත් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහු දිගටම රෝහලේ රැඳී සිටීවි” යයි ඩෙන්මාර්ක් පාපන්දු සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට 29 හැවිරිදි ඩෙන්මාර්ක් පාපන්දු ක්‍රීඩකයා පිටියේ වම් අන්තයෙන් දුවමින් සිටියදී එකවරම ඇද වැටිණ. ඒ සමගම 16,000 ක් පමණ වූ නරඹන්නෝ මහත් මහත් සුසුම් පිටකළ අතර දෙපිලේම ක්‍රීඩකයෝ එරික්සන් වටකරගත්හ. වෛද්‍ය කණ්ඩායම් එසැණින් ඔහුගේ හෘදය සම්බානය කරන්නට වූ අතර ගිලන් මැස්සක රුවා ඔහු පිටියෙන් ඉවතට ගෙන යන ලදි.

රෝහල් ගත කිරීමෙන් පසුව ක්‍රිස්ටියන්ට සුවය පතා ඩෙන්මාර්ක් රජ පවුලෙන් මෙන්ම එංගලන්ත රජ මාළිගයෙන්ද, අන්තර්ජාතික පාපන්දු සංගම් වලින් මෙන්ම ක්‍රීඩා සමාජ වලින්ද සුබ පැතුම් ගලා එන්නට විය. එරික්සන් වසර කිහිපයක සිටම ඉතාලියේ ඉන්ටර් මිලාන් ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.

එරික්සන්ට මීට ඉහතදී කොවිඩ්-19 වයිරසය වැළඳී තිබුණු බවට පළවූ ආරංචි ඉන්ටර් මිලාන් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්‍ෂක ගුසෙප් මරෝතා මහතා ප්‍රතික්ෂේප කරයි. එරික්සන් එංගලන්තයේ ටොටන්හැම් හොට්ස්පර් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන සමයේදී ඔහුගේ වෛද්‍යවරයා වූ, එංගලන්තයේ ශාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ සන්ජේ ශර්මා මහතා පවසා සිටියේ එරික්සන්ට මීට පෙර හෘදයාබාද තිබී නැති බවයි.

වෛද්‍ය ශර්මා මහතා කියා සිටියේ පාපන්දු ක්‍රීඩකයා 2013 සිටම මනා සුවයෙන් සිටි බවත් ඔහුගේ වෛද්‍ය වාර්තා සාමාන්‍ය වූ බවත්ය. එහෙත් ක්‍රීඩකයා පිටියේ ඇද වැටුණ ආකාරය දුටු තමන්ට කිසියම් කාරණයක් වෛද්‍යවරුන්ගේ ඇස නොගැටී ගියේදෝ යන්න සැක සිතුණ බවත් පැවසීය.

එරික්සන්ගේ ඇද වැටීමත් සමගම ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය අතර තරගය නතර කරන ලදි. එහෙත් පසුව ආරම්භ වූ තරගයේදී ෆින්ලන්ත කණ්ඩායම ගෝල 1-0 ක් ලෙසින් ජයගත්තේය.

ෆින්ලන්තයේ ජොයෙල් පෝජන්පාලෝ එම ගෝලය ලබාගත්තේය. ජෙරී යුරොනන්ගේ පන්දුව යොමු කිරීමකින් තමන් වෙත පැමිණි පන්දුව හිසෙන් දැළ තුළට යැවීමට ජොයෙල් සමත් විය.

- 213


අදහස් (0)

පිටියේ වැටුණු එරික්සන් තවමත් රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.