Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි ක්‍රීඩකයෝ කුසලාන ත්‍රිත්වය සොයති

මුම්බායි ක්‍රීඩකයෝ කුසලාන ත්‍රිත්වය සොයති

editorial - 2021 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 4 කට පමණ පෙර අතරමගදී නතර කරන ලද අයි.පී.එල්. තරගාවලිය ඉරිදා (19 වැනිදා) සිට යළිත් ආරම්භ වෙයි. තරගාවලිය යළි ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉරිදා රාත්‍රී 7.30 ට ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇත.

අවසන් වරට පැවැති තරගාවලි දෙකේදීම අයි.පී.එල්. කුසලාන දිනාගත් මහේල ජයවර්ධනගේ ගුරුහරුකම් ලබන මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ අයි.පී.එල්. ඉතිහාසයේ පළමු වැනි කුසලාන ත්‍රිත්වය සොයමින් සිටිති. ඒ වෙනුවෙන් ඉතාමත් ප්‍රබල ක්‍රීඩකයෝ රැසක්ම මුම්බායි පිල සතුව සිටිති.

අයි.පී.එල්. දෙවැනි අදියරේදී හිටපු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකුම ක්‍රීඩා නොකරන නමුත් තරගාරීත්වයට එයින් දැඩි බලපෑමක් ඇති නොකෙරේ. හිටපු ක්‍රීඩකයන් ඉවත්ව යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර දෙදෙනා දෙවැනි අදියරේ සිට විරාට් කෝලි විසින් මෙහෙයවනු ලබන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්ව සිටිති.

සම්පූර්ණ තරගාවලිය තරග 60 කින් සමන්විතය. ඉන්දියාවේදී පැවති තරගාවලියේදී කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් තරගාවලිය මැයි මස 02 වැනිදා නතර කරන ලදි. ඒ දක්වා පැවැති තරග 29 නිමාවේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග 8 කින් 6 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 12 ක් ලබා පෙරමුණ ගෙන සිටියේය. ප්‍රසාද ලකුණු සටහන අනුව චෙන්නායි සුපර් කිංග්ස් (10), රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (10), මුම්බායි ඉන්දියන්ස් (8), රාජස්තාන් රෝයල්ස් (6), පන්ජාබ් කිංග්ස් (6), කොල්කටා නයිට් රයිඩර්ස් (4) සහ සන්රයිසස් හයිද්‍රාබාද්(2) ප්‍රසාද ලකුණු සටහනේ දිල්ලි කැපිටල්ස් පිලට පහළින් ස්ථානගතවී සිටිති.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී මේ වන විට දක්වන දස්කම් අනුව අයි.පී.එල්. දෙවැනි අදියරේදී විමසිල්ලෙන් බලා සිටිය යුතු ක්‍රීඩකයෝ කිහිප දෙනෙකි.


විරාට් කෝලි (බැංගලෝර්)
වසර ගණනාවක සිටම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායකත්වය දරන ඉන්දීය නායකයාට තවමත් අයි.පී.එල්. තරගාවලියක් ජයගත හැකිවී නැත. එහෙත් තවත් මාස දෙකකින් ඉන්දීය විස්සයි-20 පිලේ නායකත්වය හැරයාමට සූදානමින් සිටින විරාට් කෝලිට මෙවර තරගාවලිය ජයගත හැකි වුවහොත් ඔහුට එය අපූරු සිහිවටනයක් වනු ඇත.

බැංගලෝර් පිල මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ සිටී. මෙම තත්ත්වය මත, බැංගලෝර් පිලේ ඉදිරිගමන, කෝලිගේ නායකත්වය පිළිබඳ තක්සේරු කරනු ඇත.

ඉන්දීය කණ්ඩායමට නායකත්වය දෙමින් සීමිත ඕවර කුසලානයක් දිනාගැනීමට මේ දක්වා අපොහොසත්ව සිටින විරාට් කෝලි මෙවර තරගාවලියේ තරග 7 කදී ලකුණු 198 ක් ලබා සිටී. ඒ අතර ඔහුගේ හොඳම ඉනිම වූයේ ලකුණු 72 කි.


ඔයින් මෝගන් (කොල්කටා)
වසර හයක පමණ කාලයක් සැලසුම් කරමින් එංගලන්තයට ලෝක කුසලාන දිනා දුන් නායකයාය. එහෙත් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි තැනට වැටී සිටින කොල්කටා නයිට් රයිඩර්ස් පිල එසවීමට ඔහුට අතිරේක වෙහෙසක් ගැනීමට සිදුවනු නිසැකය.

තරගාවලියේ මුල් කොටසේදී තරග 7 කින් ලකුණු 98 ක් ලබාගත් මෝගන්ගේ කොල්කටා පිල ජයගත්තේ තරග 2 ක් පමණි. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා වන පැට් කමින්ස්ගේ අහිමි වීමත් කොල්කටා පිලට බලවත් පාඩුවකි.

නවසීලන්තයේ කේන් විලියම්සන්, ඉන්දියාවේ විරාට් කෝලි සහ ඔයින් මෝගන් තිදෙනා අයි.පී.එල්. දෙවැනි කොටසට ඉතිරි වී සිටින අන්තර්ජාතික විස්සයි-20 නායකයෝ වෙති.


රෂීඩ් ඛාන් (හයිද්‍රාබාද්)
තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගනිද්දී රෂීඩ් ඛාන් එංගලන්තයේ ‘සියය’ තරගාවලියේ පිතිකරුවන් අන්ද මන්ද කරමින් සිටියේය. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම වටිනා ක්‍රීඩකයකු වන රෂීඩ්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් පිලේ නායකයා ලෙසින් පත්කළද ඔහු ඉන් ඉවත් වූයේ කණ්ඩායම තේරීමේදී තමන්ගේ මතය විමසා නොබැලූ බව කියමිනි.

මේ වනවිට ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළේම සිටින හයිද්‍රාබාද් පිල එසවීමට රෂීඞ් ඛාන්ගේ දායකත්වය තීරණාත්මක සාධකයක් වනු ඇත.


ඉම්රාන් තහීර් (චෙන්නායි)
අයි.පී.එල්. තරගාවලියේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන්නේ 42 හැවිරිදි ඉම්රාන් තහීර්ය. එහෙත් මන්දගාමී මෙන්ම දඟකැවීමකින් යුත් ඩුබායි-අබුඩාබි තණතීරුවලදී ඉම්රාන් තහීර් විශාල යමක් කරනු නිසැකය. ඔහුගේ භයානකම ආයුධය වන්නේ ගුග්ලි පන්දුවයි.

දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයෙන් හැළී ගිය තහීර් කීවේ “මං ගැන මීට වඩා ටිකක් හිතන්න තිබුණා” කියාය. එබැවින් ඔහුගේ අරමුණ වන්නේ දකුණු අප්‍රිකානු තේරීම් කමිටු නිලධාරීන්ට වැරදුන බව සනාථ කිරීමයි.

 
ජස්ප්‍රීට් බුම්රා (මුම්බායි)
ඉන්දියාවේ යෝකර් රජු ඔහුයි. ලසිත් මාලිංග ඔහුට ‘යෝකර් ශාස්ත්‍රය’ අඩු නැතිවම දුන් බව කියතත් බුම්රා එසේ නොකියයි. එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග 4 කදී බුම්රා සතුකරගත් කඩුලු සංඛ්‍යාව 18 කි. වසර 2013 දී, බුම්රා අති විශේෂ ක්‍රීඩකයකු බව හඳුනා ගන්නා ලද්දේ එවකට මුම්බායි පුහුණුකරුවාව සිටි ජෝන් රයිට් මහතා විසිනි.

අයි.පී.එල්. තරගාවලිය පස් වතාවක් ජයගත් මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 99 ක් ක්‍රීඩා කළ බුම්රා මෙතෙක් දවාගත් කඩුලු සංඛ්‍යාව 115 කි. ඔහුගේ සහායට නවසීලන්තයේ ටේ‍රන්ට් බෝල්ට් ද සිටින බැවින් මහේල ජයවර්ධනගේ ගුරුහරුකම ලබන මුම්බායි පිල පිට පිටම තුන්වැනි වරටත් අයි.පී.එල්. ශූරතාවක් සොයමින් සිටී.

- 213


අදහස් (1)

මුම්බායි ක්‍රීඩකයෝ කුසලාන ත්‍රිත්වය සොයති
  • ජල්තර Saturday, 18 September 2021 08:54 AM

    බුම්රා මාලිංග ගැන කියනවා මම අහලා තියෙනවා. විකට් එක ඉස්සරහ සපත්තුව තියලා, ඒකට බෝල් කරන්න කියලා දුන්නේ මාලිංග බව බුම්රා කියලා තියෙනවා. බුම්රාව ගුණමකුවෙක් කියලා කියන්න උත්සාහ කරන්න එපා. පව්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.