Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේධානිට දෙවැනි වතාවටත් ලෝක ශූරතා වරම්

මේධානිට දෙවැනි වතාවටත් ලෝක ශූරතා වරම්

editorial - 2021 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

මීටර් 100 (කාන්තා) ඉසව්ව තත්පර 11.85කට නිමා කරමින් එම ඉසව්වෙන් ද කෙන්යාවේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට නිර්දේශ ලබාගැනීමට කොළඹ ලුම්බිණි විදුහලේ ඉරේෂා මේධානි ජයමාන්න අද (27) කොළඹ සුගතදාස පිටියේදී පැවැති මලල ක්‍රිඩා කනිෂ්ඨ තේරීම් තරගාවලියේදී සමත් වූවාය.

ඇය ඊට පෙර එළඹෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මීටර් 200 (කාන්තා) ඉසව්වෙන් ද නිර්දේශ තහවුරු කරගෙන සිටියේ පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ ‘පතියාලා’ නුවරදී පැවැති ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තත්පර 24.08කට රිදී පදක්කම හිමිකර ගැනීමෙනි.

නැගී එන කෙටි ධාවන ශූරියක් ලෙස පෙරට එමින් සිටින ඉරේෂා මේධානි මෙතෙක් මෙරටින් බිහිවූ සුපිරිතම කෙටි ධාවන ශූරිය ලෙස සැලකෙන ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහට ඥාති සබඳකම් ඇති ක්‍රීඩිකාවකි.

කෙන්යාවේ නයිරෝබි නුවරදී මීළඟ ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා දක්වාය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන හතර දෙනෙකි.

කෙසේ වුවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා නිර්දේශ ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් අද (27) පැවැත්වූ තේරීම් තරගාවලියේදී අලුතින් කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවක් නිර්දේශ ලබාගැනීමට අපොහොසත් විය.

මෙම වසරේදී ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ සංවිධානය කළ තේරීම් තරගාවලි කීපයකදී හා 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඔවුහු ඒ සඳහා නිර්දේශ තහවුරු කර ගත්හ.

ඒ අනුව මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන මීටර් 400 (පිරිමි) ඉසව්වෙන් ද ගම්පහ සිරිකුරුස බාලිකා විදුහලේ ශෙනිකා ලක්ෂානි හා වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ තරුෂි කරුණාරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් ද කෙන්යානු ලෝක ශූරතා තරගාවලියට කලින්ම සුදුසුකම් සනාථ කර තිබුණි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් මේධානි ජයරත්න අද මීටර් 100 (කාන්තා) ඉසව්වෙන් ද ලෝක ශූරතාවලිය තහවුරු කර ගන්නා අතර මීටර් 400 (පිරිමි) ඉසව්වේ අද ඉසුරු කෞෂල්‍ය අබේවර්ධනගේ තරග නිමාව සටහන් වූයේ තත්පර 46.90 ක් ලෙසිනි. කෙසේ වුවත් ඔහු ලෝක ශූරතාවලියට නිර්දේශ ලැබූයේ තත්පර 47.27ක  දක්ෂතාවයක් පෙන්වමිනි.

ඒ අතර මීටර් 800 (කාන්තා) ඉසව්වේ ලෝක ශූරතා වරම්ලාභිනී ෂානිකා ලක්ෂාණිගේ අද තරග නිමි කාලය වූයේ විනාඩි 2 තත්පර 12.14 කි. තරුෂි කරුණාරත්න අද එම ඉසව්වට සහභාගි නොවුණු අතර එහෙත් ඇය මීටර් 400 (කාන්තා) ඉසව්වට තරග වැදෙමින් තත්පර 55.21ක දක්ෂතාවයක් පෙන්වූවාය. විනාඩි 2 තත්පර 07.21කට ඇය කෙන්යානු ලෝක ශූරතාවලියට වරම් ලද්දේ මැයි මාසයේදී පැවැති 99 වැනි ජාතික ශූරතා තරගාවලියේදීය.

අද සුගතදාස පිටියේදී පැවැති කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ධාවන හා පිටියේ ඉසව් 10ක කාන්තා හා පිරිමි තරගවලට පමණක් සීමා කරමින් පැවැත්වුණි.

ඒ සඳහා කලින් ප්‍රකාශයට පත්කර තිබූ ඉසව් පරිසාධන මට්ටමට ළඟාවී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් අයැදුම් කිරීමේ අවස්ථාව හිමිව තිබුණි. මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් ෂානිකා ලක්ෂාණි ලෝක ශූරතා වරම් ලද්දේ පැවැති අප්‍රේල් තේරීම් තරගාවලියේදී විනාඩි 2 තත්පර 12.23ක දක්ෂතාවයකිනි.


අදහස් (1)

මේධානිට දෙවැනි වතාවටත් ලෝක ශූරතා වරම්
  • piyal Wednesday, 28 July 2021 04:14 PM

    සුපිරියි...සුබපැතුම්..!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.