Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන සංචිතයට වැඩිපුර 5 ක්

ලෝක කුසලාන සංචිතයට වැඩිපුර 5 ක්

editorial - 2021 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින්, ක්‍රීඩකයන් 23 දෙනකු ඩුබායි බලා රැගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කළ මූලික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 19 දෙනාගෙන් දෙදෙනකුම මේ වන විටත් ආබාධයන්ට ලක්ව සිටීමත්, කිසියම් හේතුවකින් වැඩිපුර ක්‍රීඩකයන් අවශ්‍ය වුවහොත් ආදේශ කළ හැකි ක්‍රීඩකයන් ජෛව බුබුළක රඳවා ගැනීමත් ක්‍රීඩකයන් 23 දෙනකු ඩුබායි බලා කැඳවාගෙන යාමේ අරමුණ වෙයි.

අතිරේකව ගෙනියන ක්‍රීඩකයන් පස් දෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් එහි කැඳවගෙන යනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව විස්සයි-20 තරග 2 කට සහ තවත් ලෝක කුසලාන පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය. කිසියම් හෙයකින් එම තරග වලදී ක්‍රීඩකයන් ශාරීරික ආබාධයකට ලක්වුවහොත් ආදේශ කිරීම සඳහා සංචිතයේ වැඩිපුර ක්‍රීඩකයන් සිටිය යුතුව තිබේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් නම් කිරීමේ අවසන් දිනය වන්නේ ඔක්තෝබර් මස 10 වැනිදාය. ඒ අනුව ඕමානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකින් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ලෝක කුෂලාන කණ්ඩායම නම්කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙනු ඇත.

හිටපු නායකයකු මෙන්ම ආරම්භක පිතිකරුවකුද වන කුසල් ජනිත් පෙරේරා පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටී. එහෙත් එය පළමු වැනි කාණ්ඩයේ ආබාධයක් වන බැවින් ඔහුට දෙසතියක විවේකයකින් පමණ නැවතත් තරග කළ හැකි බව වෛද්‍යවරු කියති. එහෙත් යම් ආකාරයකින් එය එසේ නොවූවොත් හෝ තරග කිරීමේදී වර්ධනය වුවහොත් කුසල් ජනිත් පෙරේර්ාගේ ස්ථානය සඳහා ආදේශ කිරීමට මිනෝද් භානුක සූදානමින් තබා ගැනේ.

කෙසේ වෙතත් මිනෝද් භානුක ප්‍රධාන සංචිතයට ආදේශ කෙරෙන්නේ මේ වන විට ආබාධයකට ලක්ව සිටින ළහිරු මධුශංක වෙනුවෙනි. වමත් පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු ද වන මිනෝද් භානුක පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියට ක්‍රීඩා කළ නමුත් ලෝක කුසලාන මූලික සංචිතයට ඇතුළත් නොවීය.

ඕමානයට එරෙහිව ඔක්තෝබර් 7 සහ 9 දිනවලදී  පැවැත්වෙන තරග දෙක සඳහාත් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා නොකරන අතර එම තරගාවලිය සඳහා කඩුලු රකින්නකු වශයෙන් කණ්ඩායමට ඇත්තේ දිනේෂ් චන්දිමාල් පමණි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් ලබන 21 වැනිදා ආරම්භ කෙරේ. ඉන් අනතුරුව පුහුණු තරග දෙකක් හෝ තුනක් පැවැත්වෙන අතර අතිරේක ක්‍රීඩකයන් පස්දෙනා කවුරුන්ද යන්න ඉන් අනතුරුව තෝරා ගැනේ.

මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන් ලෝක කුසලාන සංචිතයට ඇතුළුවීමේ දොරටුව අබියසින්ම සිටින ක්‍රීඩකයෝ වෙති.

 


අදහස් (1)

ලෝක කුසලාන සංචිතයට වැඩිපුර 5 ක්
  • Sk Friday, 17 September 2021 09:09 PM

    ක්‍රීඩකයෝ අරන් යනවා... අන්තිමට ඔක්කොම පැරැදිලා ගෙදර එනවා. අපරාදෙ සල්ලි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.