Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සකිබ් කඩුල්ලට පයින් ගහයි

සකිබ් කඩුල්ලට පයින් ගහයි

editorial - 2021 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (සිකුරාදා) පැවැති තරගයකදී පිතිකරුවකු දවාගැනීමට කළ ඉල්ලීමක් අනුමත නොකිරීමෙන් කෝපාවිෂ්ඨ වූ ටෙස්ට් ක්‍රීඩක සකිබ් අල් හසන් ප්‍රධාන විනිසුරුවරයාගේ අන්තයේ කඩුල්ලට පයින් ගැසීය. ඉන් ටික වේලාවකට පසුව නැවත වරක් කෝපාවිෂ්ඨ වී ප්‍රධාන විනිසුරුවරයා වෙත පැමිණි සකිබ් අල් හසන්, ප්‍රධාන විනිසුරුවරයාගේ අන්තයේ කඩුල්ලේ ඉනි තුනම ගලවා පොළොවේ ගැසීය.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන ‘අභානි’ ක්‍රීඩා සමාජ කණ්ඩායමත් ‘මොහොමදාන්’ ක්‍රීඩා සමාජ කණ්ඩායමත් අතර ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මෙය සිදුවී තිබේ. සකිබ් අල් හසන් මොහොමදාන් කණ්ඩායමේ නායකයාද වෙයි.

තරගයේ 5 වැනි ඕවරයේදී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකුර් රහීම් (බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙකි) කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුවූයේ යයි සකිබ් විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් සකිබ්ගේ ඉල්ලීමට විනිසුරු අනුමැතිය නොලැබිණ. කෝපාවිෂ්ඨ වූ සකිබ්, සැණෙකින් ප්‍රධාන විනිසුරුවරයාගේ කඩුල්ලට පයින් ගැසීමෙන් පසුව දිගින් දිගටම විනිසුරුවරයාට බැණ වැදුණේය.

ඊළඟ ඕවරයේදී වර්ෂාව තරමක් වැඩි වූයෙන් තණතීරු ආවරණ රැගෙන එන ලෙස විනිසුරුවරයා ක්‍රීඩාංගණ සේවකයන්ට දැනුම් දුන්නේය. ඒ වන විටත් ‘අභානි’ කණ්ඩායම ඕවර 5.5 ක් පන්දුවට පහර දී තිබූ බැවින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව තරගයේ තීරණයක් ලැබීමට නම් යැවිය යුතුව තිබුණේ තවත් එක පන්දුවක් පමණි.

එහෙත් තණතීරු ආවරණ රැගෙන එන ලෙස විනිසුරුවරයා ක්‍රීඩාංගණ සේවකයන්ට දැනුම් දීම සම්බන්ධයෙන් නැවත වරක් උරණ වූ සකිබ් අල් හසන් ප්‍රධාන විනිසුරුවරයා වූ ඉම්රාන් පර්වේස් මහතා වෙත පැමිණ ඔහුට බැණ වැදීමෙන් පසුව කඩුල්ලේ ඉනි තුනම ගලවා පොළොවේ ගැසීය.

ඒ සමගම වර්ෂාව නිසා තරගය නතර කෙරිණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මොහොමදාන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ සකිබ් අල් හසන් පන්දු 37 කදී ලකුණු 37 ක් ලබාගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.

සකිබ් අල් හසන් බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයකුද වන අතර මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු අවස්ථා කිහිපයකදීම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් දඩ මෙන්ම දඬුවම් ලබා සිටින්නෙකි.

තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මොහොමදාන් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්තේය. වර්ෂාවෙන් පසුව තරගය නැවතත් ආරම්භ වූ අතර ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව අභානි කණ්ඩායමේ ඉලක්කය ඕවර 9 කදී ලකුණු 72 ක් ලෙසින් සංශෝධනය කෙරිණ. එහෙත් ඕවර 9 ක් අවසානයේදී අභානි කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 44 ක් පමණි.

ඒ අනුව මොහොමදාන් කණ්ඩායමට ලකුණු 31 ක (ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව) ජයක් හිමිවිය.


මොහොමදාන් ක්‍රීඩා සමාජය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 145 යි
(අබ්දුල් මසීඩ් 16, පර්වේස් හොසේන් 26, ඉර්ෆාන් සුකුර් 14, සකිබ් අල් හසන් 37, මහමදුල් හසන් නොදැවී 30, අබු හයිදර් නොදැවී 30, ටන්සිම් හසන් 17/2, අක්ස් ස්වාදීන් 24/3)

අභානි ක්‍රීඩා සමාජය - ඕවර 9 කදී කඩුලු 6 ක් දැවී 44
(නජ්මුල් හොසේන් 15, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 18, ෂව්ගතා හොම් 17/3)

 

ඡායාරූප - බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අනුග්‍රහයෙනි

 

වීඩියෝව - යූටියුබ් ජාලය අනුග්‍රහයෙනි

 


අදහස් (1)

සකිබ් කඩුල්ලට පයින් ගහයි
  • p.d goonawardena Saturday, 12 June 2021 09:21 AM

    ක්‍රිකට් ගැහුවට ඔය කට්ටිය පාසල් ගිහින් නැහැ. විනය බිංදුවයි... පොඩ්ඩක් තැනකට ආපුවාම හිතන්නේ ලොක්කෝ කියලා.. ඔය රටේ හැටි. ඔයගොල්ලෝ පාරවල් අතුගාන්න, වැසිකිළි සුද්ද කරන්න වගේ ජොබ්වලට තමයි පිටරටවල් ගන්නේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.