Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගයකදී විනිසුරුවරයා හා උරණ වීමෙන් පසුව කඩුල්ලට පයින් ගැසූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන්ට තරග 3 ක තහනමක් සහ බංග්ලාදේශ ටකා (බංග්ලාදේශ මුදල් ඒකකය) ලක්ෂ 5 ක දඩයක් පැනවිමට බංග්ලාදේශයේ විනිසුරු කමිටුව විසින් තීරණය කර ඇත.
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මොහමදාන් සහ අභානි කණ්ඩායම් අතර පැවැති තරඟයේදී සකිබ් අල් හසන් හැසිරුණු ආකාරය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ විනය නීති සංග්‍රහය යටතේ 3 වැනි මට්ටමේ වගන්තියක් උල්ලංඝණය කිරීමකි. ඔහුට එරෙහිව ලබා දුන් දඬුවම සකිබ් විසින් පිළිගෙන ඇති අතර සකිබ් අල් හසන් මොහොමදාන් කණ්ඩායමේ නායකයාද වෙයි.
තරගයේ 5 වැනි ඕවරයේදී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකුර් රහීම් කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුවූයේ යයි සකිබ් විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් සකිබ්ගේ ඉල්ලීමට විනිසුරු අනුමැතිය නොලැබිණ. කෝපාවිෂ්ඨ වූ සකිබ්, සැණෙකින් ප්‍රධාන විනිසුරුවරයාගේ කඩුල්ලට පයින් ගැසීමෙන් පසුව දිගින් දිගටම විනිසුරුවරයාට බැණ වැදුණේය.
ඊළඟ ඕවරයේදී වර්ෂාව තරමක් වැඩි වූයෙන් තණතීරු ආවරණ රැගෙන එන ලෙස විනිසුරුවරයා ක්‍රීඩාංගණ සේවකයන්ට දැනුම් දුන්නේය. ඒ වන විටත් අහානි කණ්ඩායම ඕවර 5.5 ක් පන්දුවට පහර දී තිබූ බැවින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව තරගයේ තීරණයක් ලැබීමට නම් යැවිය යුතුව තිබුණේ තවත් එක පන්දුවක් පමණි.
එහෙත් තණතීරු ආවරණ රැගෙන එන ලෙස විනිසුරුවරයා ක්‍රීඩාංගණ සේවකයන්ට දැනුම් දීම සම්බන්ධයෙන් නැවත වරක් උරණ වූ සකිබ් අල් හසන් ප්‍රධාන විනිසුරුවරයා වූ ඉම්රාන් පර්වේස් මහතා වෙත පැමිණ ඔහුට බැණ වැදීමෙන් පසුව කඩුල්ලේ ඉනි තුනම ගලවා පොළොවේ ගැසීය.
ඒ සමගම වර්ෂාව නිසා තරගය නතර කෙරිණ. වර්ෂාවෙන් පසුව තරගය ආරම්භ වූ අතර එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සකිබ් අල් හසන් නායකත්වය දරන මොහොමදාන් කණ්ඩායම ලකුණු 31 කින් ජයගත්තේය.
2018 වසරේ පැවැති අයි.පී.එල් තරගාවලියේදී දූෂිත ප්‍රවේශයන් වාර්තා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වසර 2 ක කාලයක් (වසරක අත්හිටවූ) සකිබ්ට තහනම් කරන ලදී. කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් සකිබ් අල් හසන් විසින් සියලු පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.