Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික මහ ක්‍රීඩා තරගාවලියට කෝටි 18ක්

ජාතික මහ ක්‍රීඩා තරගාවලියට කෝටි 18ක්

editorial - 2024 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

මෙම  වසරට නියමිත  48 වැනි ජාතික මහ ක්‍රීඩා  තරගාවලිය සදහා  ක්‍රීඩා  අමාත්‍යාංශය රුපියල්  කෝටි 18  ක් හෙවත් මිලියන 180 ක් වෙන් කර තිබේ.මෙම  ප්‍රතිපාදන  කිසිදු ඉතිරි කිරීමකින් තොරව  ක්‍රීඩා  තරගාවලියට සහභාගි  වන ක්‍ර්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනයට හා ත්‍යාග  සදහා  වැය කෙරෙන බව ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්  මහාචාර්ය  රියර්  අද්මිරාල්  ෂේමාල්  ප්‍රනාන්දු  මහතා පැවසීය.

රාජ්‍ය  අනුග්‍රහයෙන්  වසරේ  පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන ජාතික  මහ ක්‍රීඩා  උළෙලේ එම නිල නාමය  ක්‍රීඩා  අමාත්‍යාංශය විසින් මේ වන  විට වෙනස් කර තිබේ.ඒඅනුව ක්‍රීඩා  අමාත්‍යාංශය  දැන් එය නිල වශයෙන්  හදුන්වන්නේ ජාතික  මහ ක්‍රීඩා  තරගාවලිය ලෙසිනි.

මෙවර ක්‍රීඩා  උළෙල  ක්‍රීඩා ඉසව් 31 කින් සමන්විතය.ඉන් මේ වන විට රට හරහා දිවීම, වෙරළ වොලිබෝල් , කඹ ඇදීම, ටයිකොන්ඩෝ, යන  ක්‍රීඩා  ඉසව් පවත්වා  අවසන්  කර තිබේ.මෙම සති අන්තයේදී  (ජූනි 7 සිට 9 වැනිදා  දක්වා) බර ඉසිලීම්, කරාටේ - දෝ, බැඩ්මින්ටන් , ජූඩෝ යන ක්‍රීඩා ඉසව් පිළිවෙළින් පොළොන්නරුව  ජාතික  ක්‍රීඩාංගණය, මාතර කොටවිල ක්‍රීඩාංගණය , ගාල්ල දඩැල්ල ක්‍රීඩාංගණය  හා නාවලපිටිය  ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ලබන ජූලි 17 සිට 19 වැනිදා  දක්වා කොළඹ  සුගතදාස  ක්‍රීඩාංගණයේදී  පවත්වා අවසන් කිරීමට නියමිත මලල  ක්‍රීඩා තරගාවලියෙන්  මෙවර 48 වැනි තරගාවලිය නිමාවට පත්වේ.

ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල්  ෂේමාල්  ප්‍රනාන්දු  මහතා පවසන්නේ දැනට සැලසුම්  කර තිබෙන පරිදි  ප්‍රකාශයට  පත් කර ඇති  සමස්ත තරග සැලැස්මට අනුව මෙවර ක්‍රීඩා  තරගාවලිය පවත්වා අවසන්  කිරීමට ක්‍රීඩා  සංවර්ධන දෙපාර්තමේන්තුව උනන්දුවී සිටින බවයි.

ක්‍රීඩා  උළෙලේ  වියදම් සීමා කිරීමට තීරණයක්  ගෙන  තිබුණත් එහිදි  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් සීමා කර නැතැයිද  ෂේමාල්  ප්‍රනාන්දු  මහතා පවසයි.

එහිදී ඔහු මෙසේද පැවැසීය "   මෙවර  ක්‍රීඩා  උළෙල  සාර්ථක  කර ගන්න ක්‍රීඩා  සංවර්ධන දෙපාර්තමේන්තුව හතර පාරක්ම ක්‍රීඩා  නිලධාරීන්ගේ  රැස්වීම්  තිබ්බා.

ක්‍රීඩා උළෙලට රජය අපට මේ වසරට රුපියල්  මිලියන 180 ක් අනුමත  කර තිබෙනවා. විශේසාංග , උත්සව, අලංකාර ආරාධනා  පත් සදහා  යන වියදම් දැන් අපි මුළුමනින්ම පාලනය කර තිබෙනවා.ලබන අවුරුද්ද වෙන කොට මේ ක්‍රීඩා  උළෙල  දැන් සංවිධානය  කරන ක්‍රම වේදයෙන් බැහැර කරලා වෙනස්ම ක්‍රමයකට පවත් වන්න කටයුතු කරනවා. ක්‍රීඩා  ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා එතනදී කිව්වේ ලබන අවුරුද්දෙ ක්‍රීඩා  උළෙලට සහභාගි වන ක්‍රීඩකයකුට අඩු තරමින් හෝටල්  කාමරයක නවාතැන්  ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි කියලා"

මේ අතර මෙවර ජාතික  මහ ක්‍රීඩා  උළෙලේ පාපැදි  - මැරතන්  - ඇවිදීමේ තරග ඉසව් ලබන සති අන්තයේදී ( ජූනි 14 - 15 - 16 යන දිනවලදී  මයියංගනය නගරයේදී  පැවැත්වීමට සැලසුම් කර ඇත.මෙම  තරගමාලාව ක්‍රීඩා  තරගාවලියේ ප්‍රධානතම  ක්‍රීඩා  ඉසව් සමූහයක් ලෙස හැදින්විය හැකිය.

ක්‍රීඩා ඉසව් 31 ක් පවත්වා අවසන් කිරීමේදී පාපන්දු  තරගාවලිය  පැවැත්වීමට නියමිතව ඇත්තේ  ජූනි 28 - 29 - 30  යන දිනවල යාපනය  දොරේ අප්පා ක්‍රීඩාංගණයේදීය.ජූලි  7 වැනිදා  රීඩ්  මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී කායවර්ධන තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික මහ ක්‍රීඩා  උළෙල නමින් වසරේ රාජ්‍ය අනුග්‍රහයෙන්  පැවැත්වෙන  ප්‍රධානතම ක්‍රීඩා  උළෙල  1972 දී ආරම්භ වීමෙන් පසුව පසුගිය කොවිඩ් වසංගත  සමයේදී වසර කීපයක්ම අත්හිටුවීමට සිදු විය. 

ඒ හැරෙන්නට 1983  හා 1987 දීත් රට තුළ උද්ගතවූ  කළබලකාරි තත්වයන් හමුවේ එම වසර වලදීත් ක්‍රීඩා  උළෙල  පවත්වා නැත. මෙම  ක්‍රීඩා  උළෙල අදියර තුනක් ඔස්සේ පැවැත්වේ.

පසුගිය වසරේදී පැවැති 47 වැනි ජාතික  මහ ක්‍රීඩා තරගාවලියේ සමස්ත  ශූරතාව දිනාගත් බස්නාහිර පළාත රන් පදක්කම් 115 ක් ඇතුළුව මුළු පදක්කම් 272 ක් හිමි කර ගැනීමට සමත්විය.

ජාතික  මහ ක්‍රීඩා  උළෙල  ඉතිහාසය පුරා එක් අවස්ථාවකදී හැරෙන්නට මේ දක්වා සමස්ත ශූරතාව දිනා ඇත්තේද බස්නාහිර  පළාත විසිනි.

මෙවරත් වියදම්  පාලනය කිරීමේ අරමුණින්  ක්‍රීඩා  අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩාංගණ වලදී පමණක්  තරග ඉසව් පැවැත්වේ.


අදහස් (0)

ජාතික මහ ක්‍රීඩා තරගාවලියට කෝටි 18ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.