Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්

ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩකයකු, පුහුණුකරුවකු හෝ විනිසුරුවරයකු නොවන පුද්ගලයන්ට ජාතික ක‍්‍රීඩා සංගම්වල භාණ්ඩාගාරික තනතුර හැරෙන්නට වෙනත් තනතුරු දැරීම තහනම් කළ යුතු බවට සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාට යෝජනා කර තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී ඇමැතිවරයා මුණගැසෙමින් පෙරේදා (2) පැවැති සාකච්ඡවේදී මෙරට ක‍්‍රීඩාවේ දියුණුව උදෙසා යෝජනාවලියක් ් බාර දෙමින් ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සභාපති බී. වී. ආර්. ජයලාල් මහතා විසින් නව ක‍්‍රීඩා සැලසුම් යෝජනාවලිය ඇමැති නවීන් දිසානායක මහතා වෙත බාරදෙනු ලැබීය.

එම අවස්ථාවේදී ඊට ඇමැතිවරයා ඉහළ ප‍්‍රතිචාර දැක්වූ බව ජයලාල් මහතා ‘‘ලංකාදීප”ය කළ විමසුමකදී පැවසීය. සමස්ත ලංකා ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය පළාත් සභා සේවයේ නිරත ක‍්‍රීඩා නිලධාරීහු 640 දෙනෙක් සාමාජිකත්වය දරති.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යුහය සැකසී තිබෙන ජාතික ක‍්‍රීඩා සංගම්, ජාතික ක‍්‍රීඩා සභාව, ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය හා ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඉලක්ක කරමින් නව යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවලියේ සඳහන් වැදගත් කරුණු අතර ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණය වසර අගදී (නොවැම්බර් - දෙසැම්බර්) පැවැත්වීමට යෝජනා කරයි.

රටේ ජාතික ක‍්‍රීඩා සංගම් දේශපාලනීකරණය වීම තුළ මේ වනවිට අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම අසීරු වී ඇතැයි ද නව යෝජනාවලිය ඉදිරිපත් කරමින් ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමය පවසයි.

ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ නව යෝජනා.

  • මාර්තු 31ට පෙර ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම තුළ රටේ ක‍්‍රීඩා තරග හා උත්සවවලට බාධාවක් බැවින් එම නිලවරණ වසරේ නොවැම්බර්-දෙසැම්බර් කාලසීමාවේ පැවැත්වීමට නීති සැකසීම (නිල කාලය ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා ලෙස සැලකීම*,
  • ජාතික ක‍්‍රීඩා සංගම්හි භාණ්ඩාගාරික ධුරය හැරෙන්නට සෙසු සියලූ තනතුරු සඳහා ක‍්‍රීඩාවේ පළපුරුදු අය (ක‍්‍රීඩකයන්, විනිසුරුවන්, පුහුණුකරුවන්) පත් කිරීම අනිවාර්ය කිරීම, සුදුසුකම් නොමැති අයට ක‍්‍රීඩා ඇමැතිවරයා ලබාදෙන අනුමැතිය ඉවත් කිරීම.
  • ක‍්‍රියාකාරී සැලැස්මක් තුළ ජාතික ක‍්‍රීඩා සංගම්හි කටයුතු අධීක්ෂණය කිරීම, එහිදී ලකුණු ක‍්‍රමයක් මත 60%ක් නොඉක්මවන නිලධාරීන්ට නැවත වාරයක් ලබා නොදීම.
  • ජාතික ක‍්‍රීඩා සංගම් කළමනාකරණය පිළිබඳව දින හතක පාඨමාලාවක් පවත්වා එහි සහතිකලාභීන්ට පමණක් නිලවරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීම.
  • ජාතික ක‍්‍රීඩා සංගම් අනු සංගම් නියෝජනය ක‍්‍රීඩා සමාජවලට පැවරීම, එකී ක‍්‍රීඩා සමාජවල ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් අවම දෙදෙනකුවත් සිටිය යුතුයයි සැලකීම.
  • ජාතික කණ්ඩායම්, පුහුණුකරුවන් හා තේරීම් කමිටු පත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය ඍජු මැදිහත්වීමක් කළ යුතුය.
  • සියලූම ජාතික ක‍්‍රීඩා සංගම් වෙත කී‍්‍රඩා අමාත්‍යාංශයේ සමානාත්මතාවය ලබාදීම.
  • ජාතික ක‍්‍රීඩා සභාවට සුදුසුකම් ඇති නිලධාරීන් පමණක් පත් කිරීම හා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අධීක්ෂණය වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම.
  • මහජන අදහස් ලබා ගනිමින් ජාතික ක‍්‍රීඩා සභාවේ මැදිහත්වීමෙන් අර්ථවත් ක‍්‍රීඩා ප‍්‍රතිපත්ති මාලාවක් සඳහා කෙටුම්පත් සකස් කිරීම.
  • ජාතික ක‍්‍රීඩා සභාවට නිර්දේශ ඉදිරිපත් කළ හැකි පරිදි පළාත් ක‍්‍රීඩා ස්ථාපිත කිරීම.
  • ක‍්‍රීඩා දැනුමක් නොමැති නිලධාරීන් මගින් පාලනය වීමෙන් ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයේ සේවය පසුගිය කාලයේ අර්ථවිරහිත වූ බැවින් එම විද්‍යායතනය ප‍්‍රතිව්‍යුහගත කිරීම. කී‍්‍රඩා විද්‍යායතනයේ අධීක්ෂණයෙන් ත්‍රෛමාසික ක‍්‍රීඩා සඟරාවක් එළිදැක්වීම.
  • දේශපාලන වුවමනාවන් මත පසුගිය වසර කිහිපයේදී ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්වාධීන්තවය බිඳ වැටීම ක‍්‍රීඩාව් දියුණුවට ද මහත් බාධාවක් විය. එබැවින් එම දෙපාර්තමේන්තුව කඩිනමින් ප‍්‍රතිව්‍යුහගත කළ යුතුය.
  • සෑම ක‍්‍රීඩා ඉසව්වක් සඳහාම ක‍්‍රීඩා පුහුණු පාසලක් බැගින් ඇති කිරීම.
  • ක‍්‍රීඩා සංවර්ධන දෙපර්තමේන්තුවේ මැදිහත්වීමෙන් දෙවැනි පෙළ පුහුණු සංචිත ඇති කිරීම.
  • එම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත සහකාර අධ්‍යක්‍ෂවරුන් තිදෙනකු පත්කර පුහුණු, තරග හා සංවර්ධන අංශ ස්ථාපිත කිරීමට අවශ්‍ය බලතල ඔවුන්ට ලබාදීම.
  • හොඳ ප‍්‍රමිතියෙන් යුත් ක‍්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම පසුගිය කාලයේ සිදුවී නැත. ඒ අනුව ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීම, එහිදී ගුණාත්මක ක‍්‍රීඩා භාණ්ඩ අලෙවිය සඳහා එම දෙපාර්තමේන්තුව යටතේ අලෙවි මධ්‍යස්ථානයක් ඇති කිරීම.
  • ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඉදිකෙරෙන ක‍්‍රීඩා සංකීර්ණ හා ක‍්‍රීඩා මධ්‍යස්ථානවල ඍජු වගකීම එම දෙපාර්තමේන්තුව භාරයට ගත යුතුය.
  • එහි නඩත්තු කටයුතු සඳහා චක‍්‍රීය අරමුදලක් පිහිටුවා ගැනීම.
  • වෙනස් දේශගුණික තත්ත්වයන් යටතේ ක‍්‍රීඩා පුහුණුවීම් හැදෑරීම සඳහා ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් නේවාසික පුහුණු මධ්‍යස්ථානයන් ආරම්භ කිරීම (නුවරඑළිය, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ඒ සඳහා වඩාත් සුදුසු ප‍්‍රදේශයි).

●●


අදහස් (0)

ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.