Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තීරණය පළාත් සභාවල අභිමතය පරිදි

තීරණය පළාත් සභාවල අභිමතය පරිදි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් කොට්ඨාස ක්‍රීඩා තරග පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශය තහනම් කර නැති බවත් පළාත් සභාවල අභිමතය පරිදි එම තරග පැවැත්විය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

කෙසේ වූවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අනුව කොට්ඨාස ක්‍රීඩා තරග අත්හැර කෙලින්ම කලාප ක්‍රීඩා තරගවලට සහභාගිවීමට පාසල් උනන්දු කර තිබෙන බව ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතා පැවැසීය.

කොට්ඨාස මට්ටමෙන් අන්තර් පාසල් ක්‍රීඩා උළෙල 314 ක් පැවැත්වෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නව මාර්ගෝපදේශයට අනුව කලාප මට්ටමින් පැවැත්වෙන අන්තර් පාසල් ක්‍රීඩා උළෙල ගණන 98 කි.

වසර හතරක කාලයක් සඳහා වන 2017-2021 ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ජාතික සංවර්ධන වැඩසටහන ඉකුත් දා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්ත ‘ඉසුරුපායේ’දී එළිදැක්වුණි. ඊට සමාගමීව අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛය නිකුත් කර තිබෙන අතර ඒ පිළිබඳව නොබෝදා ගුරු සංගමයක් චෝදනා කළේ කොට්ඨාස ක්‍රීඩා උළෙල අත්හිටුවීමට පියවර ගැනීම ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාව කඩාවැටීමකට හේතු විය හැකි බවයි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හි දුෂ්කරතාවලින් හෙබි පාසල් සිසු සිසුවියන්ට කොට්ඨාස ක්‍රීඩා උළෙලට තරග වැදීමෙන් ලබන සහතිකය අහිමි කිරීම ඔවුන්ට කරන බලවත් අසාධාරණයක් වන බවත් එම ගුරු සංගමය වැඩිදුරටත් චෝදනා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් “ලංකාදීප”යට අදහස් දැක්වූ සුනිල් ජයවීර මහතා මෙසේ ද පැවැසීය.

“මේ චෝදනාව කරන අය අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය නිවැරදිව අවබෝධ කරගෙන නෑ. ඒකෙ ඒ ගැන කිසිම නියාමනයක් සඳහන් කරලා නෑ. එයින් අප කර ඇත්තේ මාර්ගෝපදේශයක් ලබාදීම පමණයි.

කොට්ඨාස ක්‍රීඩා උළෙල අත්හැර කෙලින්ම කලාප ක්‍රීඩා උළෙල පවත්වන්න අප තීරණය කළේ ඒ ගැන පළාත් සභාවලට අයත් සියලුම අධ්‍යාපන අංශ හා ඒවායෙහි ප්‍රධානීන් දැනුවත් කරලයි. ඊට අමතරව පාසල් ක්‍රීඩා සංගම් ප්‍රධානීන් දැනුවත් කළා. චක්‍රලේඛය නිකුත් කරන්න පෙර ඒ සම්බන්ධයෙන් ඒ සියලු දෙනා දැනුවත් කෙරෙන සමුළුවක් මීපේ ප්‍රදේශයේ දී පැවැත්වූවා. එතනදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනට ඒ කාගෙන්වත් විරෝධයක් පළවුණේ නෑ.

“මේ චක්‍රලේඛය නිකුත් කළාට පස්සෙත් කලින් වගේම බස්නාහිර, වයඹ ආදී පළාත් කීපයක තවදුරටත් පාසල් කොට්ඨාස ක්‍රීඩා තරග පැවැත්වෙනවා. ඒ වගේම මේ චක්‍රලේඛයට පෙරත් නැගෙනහිර, දකුණ යන පළාත් වගේම මධ්‍යම පළාතේ සමහර තැන්වලත් සෙසු පළාත්වල සමහර තැන්වලත් කොට්ඨාස ක්‍රීඩා තරග පවත්වලා තිබ්බේ නෑ. ඒ ගැන එදා කවුරුවත් කතා කරලා කිව්වෙත් නෑ” යයි පැවසූ සුනිල් ජයවීර මහතා....

“අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සාහය වන්නේ දැන් තිබෙන ක්‍රමයට අනුව පාසල් සිසු සිසුවියන්ට අවුරුද්දේ වැඩි කාලයක් පිට්ටනියේ ගත කරන ක්‍රමය වෙනස් කරන්නයි. මේ ක්‍රමයෙන් ඔවුන්ට ඉගෙනුමට අවුරුද්දේ වැඩි කාලයක් ලැබෙන්නෙ නෑ කියලා චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒක වෙනස් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒකට දෙමව්පියන්ගෙනුත් අධ්‍යාපන අමාත්‍යාංශයට ආශිර්වාදය ලැබිලා තිබෙනවා.” යයිද පැවසීය.
 
මේ අතර අන්තර් පාසල් කලාප ක්‍රීඩා උළෙල සඳහා සිසුන් ලබන අප්‍රේල් 10 වැනිදා වනවිට සූදානම් කර තිබිය යුතු බව ද ඊට පෙර අවශ්‍ය නම් කොට්ඨාස ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට පළාත් සභාවලට ඉඩ කඩ ලැබී තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

 


අදහස් (0)

තීරණය පළාත් සභාවල අභිමතය පරිදි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.