Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දමාම් තාක්‍ෂණික නිලධාරියාට එරෙහිව ලෝකෙට ලොක්කන්ට පැමිණිල්ලක්
ආසියානු මලල ක්‍රීඩා

දමාම් තාක්‍ෂණික නිලධාරියාට එරෙහිව ලෝකෙට ලොක්කන්ට පැමිණිල්ලක්

editorial - 2025 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සෞදි අරාබියේ දමාම් නුවරදී පැවැත්වෙන ආසියානු 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 1500 කාන්තා ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකුට නොලැබී යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (සංගමය) ආසියානු මලල ක්‍රීඩාවේ සහ අන්තර්ජාතික මලල ක්‍රීඩාවේ පාලනාධිකාරියට පැමිණිලි කිරීමට සූදානම් වෙමින් සිටී. 

නියමිත වේලාවට ක්‍රීඩාංගණයට පිවිසීමට නොහැකි වූයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වූ නිදුකි ප්‍රාර්ථනා සහ අයේෂා සෙව්වන්දි දෙදෙනාටම මීටර 1500 කාන්තා ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය. 

සිදුවීම සම්බන්ධයෙන් මලල ක්‍රීඩා බලධාරීන් කියා සිටින්නේ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සහ ඔවුන් භාරව සිටි පුහුණුකරු පස්වරු 5.30 ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ කළ ද ඔවුන් දෙදෙනාගේ ඉසව්ව ආරම්භ වීමට නියමිතව තිබුණේ පස්වරු 6.10 ට වන බැවින් (විනාඩි 30 කට වඩා කාලයක් තිබීම නිසා) එම දොරටුවෙන් ඇතුළත් වීමට ක්‍රීඩිකාවන්ට අවසර නොලැබුණු බවයි. මේ අතර ක්‍රීඩාංගණයේ වෙනත් දොරටුවක් කරා ක්‍රීඩිකාවන් දෙදෙනා සහ පුහුණුකරු ගියද එම දොරටුවේ සිටි නිලධාරීන් දැනුම් දී ඇත්තේ නැවතත්  ඔවුන් කලින් ඇතුළුවීමට උත්සාහ කළ දොරටුවෙන්ම ක්‍රීඩාංගණයට ඇතුළු වන ලෙසයි.

කාලය ඉතිරිව තිබුණු බැවින් තවත් ඉසව්වක් නැරඹීමෙන් පසුව ක්‍රීඩිකාවන් දෙදෙනා සහ පුහුණුකරු, කලින් ම ගිය දොරටුව වෙත නැවතත් ගිය නමුත් ඒ වන විට එම දොරටුව වසා තිබු බවත් පවසන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීහු මෙම තරගාවලියේ සංවිධාන කටයුතු ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවත් ඇතැම් විට ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය වන බවත් පවසති. 

විශේෂයෙන්ම මෙම තරගාවලිය සඳහා නම්කරනු ලැබ ඇති ප්‍රධාන තාක්‍ෂණික නිලධාරීයාගේ කටයුතු සම්බන්ධයෙන් තදබල අප්‍රසාදය පළකරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලධාරීහු, සී.කේ. වල්සන් නම් වූ මෙම තාක්‍ෂණික නිලධාරීයාට එරෙහිව පැමිණිලි කරන බවත් පවසති. 

දමාම් ක්‍රීඩාංගණයේ සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පෙරේරා මහතා කියා සිටියේ කාන්තා මීටර 1500 තරගය ආරම්භ කිරීමෙන් පසුවත්, ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනාට අවස්ථාව දීම සඳහා මීටර 100 ක් දිවයාමෙන් අනතුරුව, තරගය තාවකාලිව නතර කළ බවයි. එහෙත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනාට ක්‍රීඩාංගණයට ඇතුළත් වීම සඳහා දොරටු වසා තිබුණු බැවින් තරගය නැවතත් ආරම්භ කර තිබේ. 

“අපේ ළමයින්ට අවස්ථාව දෙන්න කියලා අපි එයා ළඟට ගිහිල්ලා ඇඬුවේ නැතිටික විතරයි. ඊට පස්සේ අපි කිව්වා අපේ ළමයින් දෙන්නාට වෙනම දුවන්න දීලා කාලය හොඳ නම් ඒ ගැන සලකලා බලන්න කියලා. පස්සේ කිව්වා වෙනත් මැදි දුර ඉසව් දෙකකට දුවන්න ඉඩදෙන්න කියලා”

“ඒ එකක්වත් එයා සැලකිල්ලට ගත්තේ නෑ.” යයි විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පෙරේරා මහතා කියා සිටියේය. 

තරගාවලියේ නිල ප්‍රතිඵල ලේඛණ වැරදි සහගත වූ අවස්ථා ද තිබුණු බව කී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපතිවරයා, සමස්ත ආසියාවටම බලපානා මෙවන් සුවිශාල තරගාවලියක් වෙනුවෙන් එවන් ආකාරයේ තාක්‍ෂණික නිලධාරියකුගේ සේවය අවශ්‍ය නොවන බවත්, ඔහු සම්බන්ධයෙන් ආසියානු මලල ක්‍රීඩා සහ ලෝක මලල ක්‍රීඩා පාලනාධිකාරියට පැමිණිලි කරන බවත් පැවසීය. 


අදහස් (0)

දමාම් තාක්‍ෂණික නිලධාරියාට එරෙහිව ලෝකෙට ලොක්කන්ට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.