Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ස්විස්ටර්ලන්තයේදී පසුගිය ඉරිදා (3 වැනිදා) පැවැති අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 9.96කට ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩක සුපුන් අබේකෝන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂාවෙන් පසුවන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.
ස්විස්ටර්ලන්තයේදී පෙරේදා මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 9.96 කට ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් තත්පර 10 කට අඩුවෙන් එම ඉසව්ව නිමා කළ පළමු දකුණු ආසියාතිකයා බවට පත් වූවා පමණක් නොව මීටර 100 (පිරිමි) ඉසව්වේ මෙතෙක් මෙම වසරේ හොඳම කාලය වාර්තා කළ ආසියාතිකයා බවටද පත්විය.
මෙම ජුලි 28 වැනිදා එංගලන්තයේ මැන්චස්ටර් නුවරදී ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමටද නිර්දේශ ලබා සිටින යුපුන් පෙරේදා ස්විස්ටර්ලන්තයේ තරග නිමාවෙන් පසුව මාධ්‍ය හා සමාජ ජාලා වෙත ප්‍රකාශ කර සිටියේ තමන් අද සිටින තත්ත්වයට පත්වීමට ශ්‍රී ලංකාවේ කිසිඳු බලධාරියෙකුගෙන් උදව් උපකාර නොලැබුණු බවයි.
ඔහු ඒ පිළිබඳව සමාජ ජාලා ඔස්සේ කළ ප්‍රකාශයේ මෙසේද සඳහන් වී තිබුණි.
‘‘ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලලා විද්‍යුත් තැපෑලෙන් මම එවපු ලිපියකට උදව් කරන්නම් කියලා ආපු උත්තරයක් නම් හොයා ගන්නවත් නෑ. මට එහෙම කරපු උදව් මොනවද කියලා දැනගන්න මිනිස්සු බලන් ඉන්නවා.’’
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා මෙසේද පැවසීය.
‘‘යුපුන් එහෙම ප්‍රකාශයක් කළේ ඇයිද කියන්න අපිටත් පැහැදිලි කර ගත යුතුයි. මට කතා කරන්න කියලා මට යුපුන්ගේ විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් යැව්වා. හැබැයි ඔබට කතා කරන මේ මොහොත වනවිටත් යුපුන් ඊට ප්‍රතිකාර දක්වලා තිබ්බෙ නෑ.“
“ඔහු උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතයට ඇතුළත් කරගෙන සිටි ක්‍රීඩකයෙකු හින්දා අපි දන්න විදියට ඔහු ගෙවීම් ගණනාවක් මේ මොහොත දක්වා ලබා දෙමින් තිබෙනවා“
ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන අන්දමට පසුගිය වසර කීපය පුරා ඉතාලියේ වෙසෙමින් යුපුන් අබේකෝන් මෙරටින් දීමනා ගණනාවක් ලබා තිබේ.
වසර 2020 ඔක්තෝබර් සිට 2021 ජුලි දක්වා යුරෝ 700ක් බැගින් වන මාසික දීමනාවක්ද එතැන් සිට 2021 දෙසැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් 1,500ක් බැගින් වන මාසික දීමනාවක්ද ලබා තිබේ. එයින් පසුව ඔහුට උසස් දක්ෂතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක් බැගින්ද ගෙවා තිබේ. උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඔහුට තවදුරටත් මාසිකව රුපියල් ලක්ෂයක් බැගින් හිමිවන බවද සඳහන් වේ.
මේ අතර ‘‘ටෝකියෝ’’ ඔලිම්පික් උළෙලට සහභාගි වීම වෙනුවෙන් යුපුන්ට සියළු බරපැන දරමින් ඇමරිකානු ඩොලර් 15,000 ක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙය 2020 ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල පැවති 2021 අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පනස් ලක්ෂයකට වැඩි මුදලකි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට එවකට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ විධානයෙන් රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දැරීය. ඉන් වැඩි කොටසක් ඊට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන්ට ඇමරිකානු ඩොලර්වලින් කළ සහභාගි වූ දීමනා විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට යුපුන්ගේ පෙරේදා ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා එහි සභාපතිවරයා අමතමින් සිය දැඩි කණස්සල්ල පළකර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යුද හමුදාවේ තවමත් සේවය කරන්නෙකුද වන බැවින් යුපුන් රාජ්‍ය සේවකයෙකු යටතට ගැනෙන බැවින් ස්විස්ටර්ලන්තයේදී ඔහු කළ ප්‍රකාශයේ අරුත වටහා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය උනන්දු වී සිටින බවයි.
‘‘ඔහුට ලබාදුන් මේ සියලු දීමනා අනුමත වුණේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමති ධුරයේ කටයුතු කළ කාලයේදී ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතිය මතයි. ඔහුට ලංකාව පැත්තෙන් කිසියම් අතපසු වීමක් වෙලා තිබෙනවා නම් ඒ ගැනත් සොයා බලන්න ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම්. වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාත් ඒ ගැන සොයා බලන්න අපට උපදෙස් දුන්නා’’ යයිද ඒ පිළිබඳව තවදුරටත් අදස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.
යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මේ වනවිට27 හැවිරිදි වියේ පසුවෙයි. මීටර 200 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවද (තත්පර 20.37) දැනට ඔහු සතුවෙයි. ඔහු පන්නල ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී මලල ක්‍රීඩාවට දැක්වූ කුසලතා හේතුවෙන් වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලට ඇතුළත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.