Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාවේ ‘මොස්කව්’ නුවරදී ලබන සෙනසුරාදා (10) ආරම්භ වන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම අද (07) පාන්දර දිවයිනෙන් පිටත්ව යාමට සුදානම්ව සිටියේය.

හෙල්ල විසිකිරීමේ ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි සහ ශ්‍රී ලංකා සහය දිවීමේ (මීටර 400X4 - පිරිමි) කණ්ඩායමේ ක‍්‍රීඩකයන් හය දෙනා අද දිවයිනෙන් පිටත්වන අතර මෙවර ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වන සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව වන ක‍්‍රිස්ටීන් සෙනාලි මෙරිල් (මීටර 400 කඩුලූ පැන දිවීම කාන්තා) ඇමරිකාවේ සිට ඊට සහභාගි වීම සදහා මොස්කව් නුවරට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගම් ආරංචි මාර්ග සදහන් කරයි.

මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට මෙවර රටවල් 180 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිටිනා මෙරිල් මීටර 400 කඩුලූ කාන්තා ඉසව්වේ මූලික වටයට මෙම 12 වැනිදා සහභාගිවීමට නියමිතය. මෙම 15 වැනිදා (මීටර 400X4 පිරිමි) ඉසව්වේ මූලික වටයට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදියි.

හෙල්ල විසිකිරීමේ (කාන්තා) ඉසව්වේ මූලික තරග මෙම 14 වැනිදා පැවැත්වෙන අතර එහිදී 12 දෙනා මෙම 16 වැනිදා පැවැත්වෙන මෙහි අවසන් තරගයට සුදුසුකම් ලබති. වසර 2001 පසු ශ්‍රී ලංකාව සහය දිවීමේ ඉසව්වට සුදුසුකම් ලද පළමු අවස්ථාව මෙයයි. පූනේහිදි පැවැති ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කම හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට එම ජයග‍්‍රහණයත් සමග මෙවර ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීය.

දුලාන් ප‍්‍රියශාන්ත, ඩිලාන් ආලෝක, කසුන් සෙනෙවිරත්න සහ අංජන ගුණරත්න විනාඩි 3 තත්පර 6.01 කට තරග නිම කරමින් මෙම සුදුසුකම් ලබාගත්තත් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පසුගිය 27 වැනිදා නැවත විශේෂ තේරිම් තරගයක් පවත්වමින් ඔවුන්ට අමතරව මොස්කව් තරග සංචාරයේ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ජානක ජයසේකර සහ ඩි. එම්. සිල්වා ද ඇතුළත් කළේය.

මෙවර ලෝක මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වන ක‍්‍රිස්ටීන් මෙරිල් කොරියාවේදී ගියවර පැවැති ලෝක ශූරතාවලියට ද සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවකි. එම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ සෙසු එකම තරගකරුවා වූයේ මීටර 1500 ක‍්‍රීඩක චමින්ද විජේකෝන්ය.

කෙසේ වුවත් නදීකා ලක්මාලි බීජින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට (2008) සහභාගි වූවත් ලෝක ශූරතාවලියකට සහභාගි වන්නේ පළමු වතාවටය.
මෙම 17 වැනිදා දක්වා පැවැත්වෙන මොස්කව් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා කන්ඩායමේ පුහුණුකරු ලෙස යෝගානන්ද විජේසුන්දර මහතාත්, කළමණාකරු ලෙස කර්නල් සුදත් මඩුගල්ල මහතාත් සහභාගි වෙති.

මොස්කව් නුවරදී ඊයේ (06) පැවැති අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ මහ සැසිවාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාත්, එහි ලේකම් පේ‍්‍රමා පින්නවල මහතාත් සහභාගි වූහ.

ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය 1983 දී ආරම්භ වුවත් ශ්‍රී ලංකාව 1987 රෝමයේ පැවැති තරගාවලියේ සිට  ඊට සහභාගි වෙයි. 1997 ඇතන්හිදී පැවැති තරගාවලියේදී සහ 2007 ඔසාකාහිදී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව නායෝජනය කළ සුසන්තිකා ජයසිංහ මීටර 200 කාන්තා ඉසව්වේ පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා තිබෙන අතර ඇය ලෝක ශූරතා මලල ක‍්‍රීඩා පදක්කම් දිනූ එකම ශ්‍රී ලාංකික ක‍්‍රීඩිකාව වන්නීය.

ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියකදී වැඩි කණ්ඩායමක් සහභාගි කරවා ඇත්තේ 2001 එඞ්මන්ටන් තරගාවලියටය. එය ගණනින් 13 දෙනෙකි.


අදහස් (0)

ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.