Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics උෂාන්ගේ තීරණයෙන් ලංකාව අමාරුවේ

උෂාන්ගේ තීරණයෙන් ලංකාව අමාරුවේ

editorial - 2022 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඇමරිකාවේ වෙසෙමින් පුහුණුවීම් හදාරන උස පැනීමේ ශ්‍රී ලංකා ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ඉවත්වීමට ගත් තීරණයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ කනස්සල්ල පළ වී තිබේ.

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ලබන ජුලි 28 සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට නිර්දේශ වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම උෂාන්ගේ ඉවත්වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකුට සීමාවී තිබේ.

වසර 2020 ජනවාරි මාසයේ සිට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කල් ගෙවමින් පුහුණුවීම් හදාරන උෂාන් තිවංක පෙරේරා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ඉවත්වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ ඇමරිකාවේ රැඳී සිටීම සඳහා තමන්ට ලැබුණු වීසා (කාලය) අවසන්වී තිබෙන බැවින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවීම සඳහා එංගලන්තයට ඇතුළුවීම සඳහා වීසා අයැදුම් කිරීමේදී තමන්ට ගැටලුවක් පැන නැගිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා ආයතනයේ කණස්සල්ල පළවී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආරම්භය ආසන්නයට පැමිණ සිටියදී වීසා ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ඔහු තරග සංචාරයෙන් ඉවත්වීමට ගත් තිරණයයි. මෙම ප්‍රශ්නය උද්ගතවෙන බව දැන සිටි බැවින් ඔහුට කලින් සූදානම් වී ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ ඉඩ ප්‍රස්තාවක් තිබූ බවත් එහිදී මලල ක්‍රීඩා සංගමයේ අදහස වී තිබේ.

මේ අතර පසුගිය කාලයේ ඔහු ඇමරිකාවේ සිට විදේශීය තරගාවලි කීපයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි අනුග්‍රහය ලබාදුන් බවද වාර්තාවේ.

ඒ අතර කැනඩාවේ හා නිව් යෝර්ක් හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගිවීම සඳහා ඔහුට මෙරටින් ඇමරිකානු ඩොලර් ප්‍රදාන දෙකක්ද ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ විශේෂයෙන්ම එළඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යුතුවය.

24 හැවිරිදි උෂාන් තිවංක ඇමරිකාවේ රැඳී සිටින අතර ලෝන් ස්ටාර් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 2.30ක දක්ෂතාවක් දක්වමින් උස පැනීම (පිරිමි) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත්විය.

කෙසේ වුවත් ඇමරිකාවේදී ඔහු දැක්වූ එතෙක් ඉසව්වේ හොඳම දක්ෂතාවද එය වේ. පසුගිය මැයි 27 වැනිදා ඇමරිකාවේ මිචිගොන් ප්‍රාන්තයේ ඇලන්ඩෙලා හිදී පැවැති තරගාවලියේදී ඔහුගේ දක්ෂතා මීටර 2.22ක් දක්වා අවම වී තිබුණි.

මේ වනවිට ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයීය ශ්‍රේණිගත කිරීම අනුව උස  පැනීම (පිරිමි) ඉසව්වේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. ආසියාවේ තෙවැනි ස්ථානයේද ලෝක ශ්‍රේණිගත කිරීම්හි 18 වැනි ස්ථානයේද පසුවේ.

 


අදහස් (0)

උෂාන්ගේ තීරණයෙන් ලංකාව අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.