Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කෝටියක් වටින වැඩක්

කෝටියක් වටින වැඩක්

editorial - 2025 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරේදී (2025) ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග මාලා සදහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාවිතයට ගන්නා නිල ක්‍රීඩා ඇදුම හා පුහුණු ඇදුම එළිදැක්වීම පෙරේදා (7) ටොරිංටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හා මෙම ව්‍යාපෘතියට අනුග්‍රාහය දක්වන මාස් හෝල්ඩින්ස් සමූහයේ බොඩිලයින් පෞද්ගලික සමාගමේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ නව ක්‍රීඩා නිල ඇදුම මෙම වසරේදී ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම්හි සියළු ජාත්‍යන්තර තරග සහභාගිත්වය සදහා යොදා ගන්නා බවයි. ඒ අනුව සෞදි අරාබියේ දමාම් නුවරදී අප්‍රේල් 15 වැනිදා ආරම්භ වන හය වැනි ආසියානු යොවුන් (වයස 18 න් පහළ ) මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම නව ක්‍රීඩා නිල ඇදුමෙන් ඊට සහභාගි වනු ඇත.

උඩරට නර්තන සම්ප්‍රදාය විදහා දැක්වෙන සිතුවමකින් සමන්විත නව මලල ක්‍රීඩා නිල ඇදුම හා පුහුණු ඇදුම ගැන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බොඩිලයින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

" මේක සාමාන්‍ය ඇගලුම් නිශ්පාදනයක් වෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි එතෙර රටවලදී පවා අපේ ක්‍රීඩකයන්ට කාළගුණයට උෂ්නත්වයට හොදින් ඔරොත්තු දෙන ආකාරයට අති නවීනතම තාක්ෂණය යොදා ගනිමින් සකස් කළ සියුම් ඇගලුම් නිෂ්පාදනයක් ලෙස මේ ක්‍රීඩා නිල ඇදුම හදුන්වා දෙන්න පුළුවන්. මේක පැළද ඉන්න ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට  පුහුණුවේදී මෙන්ම තරග වදින අවස්ථාවේදීත් හොදින් සැහැල්ලුව දැනෙන ආකාරයට මෙය නිර්මාණය කර අවසන් කළේ වෙහෙසකර හා සංකීර්ණ ක්‍රියාවලියකින් පසුවයි.

ශ්‍රී ලංකාව පසුගිය වසර තුනක කාලය තුළදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා ජයග්‍රාහණ වෙනුවෙන් පදක්කම් 81 ක් දිනා ගෙන තිබෙනවා. ඒකට බොඩිලයින් ආයතනයට දායක වෙන්න ලැබීම ගැන අපට ලොකු සතුටක් දැනෙනවා"

බොඩිලයින් ආයතනය මෙරට මලල ක්‍රීඩාවේ නිල ඇගලුම් සහකරු ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සමග ඇති කර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට අනුව මෙම කටයුත්ත සදහා ඔවුන් රුපියල් කෝටියකට ආසන්න පිරිවැයක් දරයි. එහිදී ඔවුන් වසර 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ශ්‍රී ලංකාවේ සහභාගිත්වය දක්වා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා නිල ඇගලුම් සහකරු ලෙස කටයුතු කරයි.

මාස් හෝල්ඩින්ස් ආයතනය මේ වන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ අධීක්ෂණයෙන් පවත්වා ගෙන යන මාස් මලල ක්‍රීඩා පුහුණු ඇකඩැමියෙන්  මේ වන විට කණිෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 56 දෙනෙකු ප්‍රතිලාභ ලබයි. එය වසර අටකට (ලොස් ඇන්ජලීස් ඔලිම්පික් - 2032) ක්‍රියාත්මක වන රුපියල් කෝටි 55 කට ආසන්න ව්‍යාපෘතියකි.

 

ඡායාරූපය :- ජාතික මලල ක්‍රීඩා නව නිල ඇදුම මලල ක්‍රීඩක කාලිංග කුමාරගේට බොඩිලයින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා විසින් ප්‍රදානය කළ අයුරු.මාස් හෝල්ඩින්ස් සමූහ නිශ්පාදන ප්‍රවර්ධන නිලධාරී ඩිල්ෂාන් මොහොමඩ්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු එහි ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුන්ද මෙහි වෙති.

 


නව මලල ක්‍රීඩා නිල ඇදුමෙන් සැරසී...


අදහස් (0)

කෝටියක් වටින වැඩක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.