Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගිණුම් වාර්තාවේ ප‍්‍රශ්නයක් නෑ - සභාපති

ගිණුම් වාර්තාවේ ප‍්‍රශ්නයක් නෑ - සභාපති

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ගිණුම් වාර්තාව අනුමත කර ගැනීමට සියලූම පියවර ගෙන තිබෙන බැවින් ඒ හේතුවෙන් මලල ක‍්‍රීඩා සංගමය විසුරුවා හැරීමේ ප‍්‍රශ්නයක් උද්ගත නොවන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

මලල ක‍්‍රීඩා සංගමයේ (2013-2014) ගිණුම් වාර්තාව පසුගිය මාර්තු 30 වැනිදා පැවැති එහි මහ සභා රැස්වීමේදී අනුමත කළ යුතු වුවත් එය විගණනය කළ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ඊට අනුමැතිය ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම වත්මන් තත්ත්වයට හේතු වී තිබේ. මාධ්‍ය හමුවේදී මතු කළ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් පාලිත ප‍්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.

”මලල ක‍්‍රීඩා සංගමයේ ඔය කියන ගිණුම් වාර්තාව අනුමත කර ගැනීමේදී ඇතිවී තිබෙන ගැටළුවට හේතුව සංගමයේ නිශ්චල දේපල ලේඛණගත කිරීමේදී ඇතිවී තිබෙන ප‍්‍රශ්නයක්.

නමුත් සංගමයේ සභාපතිවරයා හැටියට මම වගකීමෙන් කියනවා ගිණුම් වාර්තාවේ ගණන් හිලව් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නැගී නැති බව. එය අනුමත නොවීම මලල ක‍්‍රීඩා සංගමය විසුරුවා හරින්න හේතුවක් යයි ඇතැමුන් මත පළ කළත් මේ සිද්ධියේදී ගිණුම් වාර්තාවේ දක්වා තිබෙන අය වැය සම්බන්ධයෙන් කිසිදු ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී නැති බැවින්, ඒ ගැන ඒ තරම් දුරක් යන්න  ඕනෑ නෑ. නමුත් මේ ප‍්‍රශ්නයට සතුටුදායක උත්තරයක් බදාදා (3) වෙනකොට ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර සංගමය මේ වන විට අරන් තිබෙනවා.

මේ අතර තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, සිද්ධියට මුල් වූයේ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වත්මන් මූලස්ථානයේ ඉඩකඩ සීමාසහිත වීම බවත්, එහෙත් ටොරින්ටන් පෙදෙසේ පැරැණි ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ මලල ක‍්‍රීඩා සංගමයේ නව මූලස්ථානය ස්ථාපිත කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත්ය.

තමා එළඹෙන නිලවරණයේදීත් (2015-17) මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධුරයට ඉදිරිපත් වන බවත් සුසන්තිකා ජයසිංහ මලල ක‍්‍රීඩා නිලවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් ඇය සාදරයෙන් පිළිගන්නා බවත් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

ගිණුම් වාර්තාවේ ප‍්‍රශ්නයක් නෑ - සභාපති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.