Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තේරීම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 ක්

තේරීම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 ක්

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කෙරෙන විශේෂ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය ලබන ජුනි 1 සහ 2 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතව සිටිති.


22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජූලි 6, 7, 8, 9 යන දිනවල ඉන්දියාවේ ‘ඔඩීසා’ ප්‍රාන්තයේ බහුබනේස්වර් නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය හිමි රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙති.


ආසියානු කලාපයේ වඩාත්ම වැදගත් අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලියට මෙවර 20 කට ආසන්න කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවේ. කෙසේ වුවත් මෙවර ආසියානු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කිරීම ලබන ජුනි 6 වැනිදා බැංකොක් නුවරදී ආරම්භවන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය පවත්වා අවසන් කරන තෙක් ප්‍රමාද කෙරේ. ඒ එම තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්වන ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් කීපදෙනෙකුද ඊට ඇතුළත් කිරීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් සිටීම නිසා බව එහි සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.


ආසියානු තරගාවලියට නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ඊට සති දෙකකට පෙර ඉන්දියාවේ පූනේ හිදී නේවාසික පුහුණුවක් ලබාදීමට ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. ඒ සඳහා සමස්ත ඉන්දීය ජාතික මලල ක්‍රීඩා සංගමයේ අනුග්‍රහය හා සහයෝගය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.


ජුනි 1 සහ 2 යන දිනවලදී පැවැත්වෙන තේරීම් තරගවලින් පසුව දැනට මලල ක්‍රීඩා සංගමය පවත්වා ගෙන යන ජාතික මලල ක්‍රීඩා සංචිතහි සංශෝධනයක් කිරීමටද මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.


ඒ අනුව දැනට සුපිරි අර්ධ සුපිරි හා ජාතික යනුවෙන් පවත්වාගෙන යන මලල ක්‍රීඩා සංචිතහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඩු කිරීමට කටයුතු කෙරේ. සුපිරි සංචිතයේ දැනට මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පමණක් ඇතුළත්ව සිටියි. ඔහු ඊළඟට යෙදෙන ටෝකියෝ (2020) ඔලිම්පික් උලෙලටද මේ වන විටත් සුදුසුකම් සපුරා සිටියි.


අර්ධ සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 ක් හා ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 95 දෙනෙකුද දැනට ඇතුළත්ව සිටින අතර ඔවුන් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රාහයෙන් මාසික දීමනා හා පෝෂණ ශිෂ්‍යත්වද ලබාදී තිබේ.


චීනයේ චුහාන් නගරයේදී පැවති 2015 ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් එක් ලෝකඩ පදක්කමකට පමණක් සීමා විය. එය දිනා ගත්තේ මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි විසිනි.


ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය කට ළඟට පැමිණ සිටියදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදී සිටින ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ට පෙර පුහුණුවීම් සඳහා ප්‍රමිතිගත කෘත්‍රිම ධාවන පථයක් නොමැතිවීමය.


සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථය ගලවා නැවැත ඇතිරීමට කටයුතු කෙරෙන අතර මේ වන විට ශ්‍රී ලංකාවේ කෘත්‍රිම ධාවන පථයකින් සමන්විත එකම ක්‍රීඩාංගණය වන දියගම මහින්ද රාජපක්ෂ පිටියේ ඇති කෘත්‍රිම ධාවන පථයත් මේ වන විට ඉතා අබලන් තත්ත්වයකින් පවතී.


එම තත්ත්වය තුළ ධාවන ඉසව් සඳහා සහභාගි වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව පිටියේ ඉසව් කරන බොහෝ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දුෂ්කරතාවයට පත්ව සිටියි. ඒ ඇතැමුන් අබලන් ධාවන පථවල පුහුණුවීම් කරද්දී විශේෂයෙන්ම පාදවල ආබාධ තත්ත්වයන්ට පත්ව තිබෙන බවත් මලල ක්‍රීඩා පුහුණුකරුවෝ පවසති.


මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය මුලින් පැවැත්වීමට තීරණය කර තිබුණේ එළඹෙන ජුනි 1 සිට 4 වැනිදා දක්වා ඉන්දියාවේ රන්චි නගරයේදීය.


අදහස් (0)

තේරීම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.