Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නිදුකි - අයේෂාට තරග වැදීම අහිමි වීම ඇමැති අණින් විමර්ශනයක්
ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය

නිදුකි - අයේෂාට තරග වැදීම අහිමි වීම ඇමැති අණින් විමර්ශනයක්

editorial - 2025 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සෞදි අරාබියේ දමාම් නුවරදී නිමාවූ හය වැනි ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 1500 ඉසව්වේ මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනාට තරග වැදීමේ අවස්ථාව අහිමි වීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විමර්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙම සිදුවීමේදී තරග සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන්ගෙන් අතපසුවීමක් සිදුවී තිබේද යන්න විමසා බැලීම ඇමැතිවරයාගේ විමර්ෂණයේ අරමුණවී තිබේ. ඒ අනුව පදක්කම් අටක් දිනා දිවයිනට ළගාවූ එම තරගාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් මුණ ගැසීම සදහා හෙට (24) පස්වරු 4.00 ට ක්‍රීඩා  අමාත්‍යාංශයට පැමිණෙන ලෙස අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඔවුන්ට ආරාධනා කර තිබේ.

එහිදී අමාත්‍යවරයා පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට සුභ පැතීමට නියමිතය.

සෞදි අරාබියේ දමාම් නුවරදී පැවැති හය වැනි ආසියානු වයස 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 1500  (බාලිකා) ඉසව්වට නිර්දේශ ලැබූ මෙරට ක්‍රීඩිකාවන් වන පුත්තලම  බරනකන්කට්ටුව කණිෂ්ඨ විදුහලේ නිදුකි ප්‍රාර්ථනා හා හම්බන්තොට නැමදගස්වැව මහ විදුහලේ අයේෂා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන්ට නියමිත වේලාවේදී තරග ආරම්භක ස්ථානයට වාර්තා කිරීමට නොහැකි වීමෙන් සිය ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය. එහිදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන්ගෙන්  කිසියම්  අතපසුවීමක් සිදුවී තිබේ දැයි සොයා බැලීම විමර්ෂණයේ අරමුණවී තිබේ.

කෙසේවූවත් මෙම සිදුවීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ප්‍රකාශ කර තිබුණේ දමාම් තරගාාවලියේ සංවිධාන කටයුතු වල බොහෝ දුර්වලතාද ඊට හේතුවක් වූ බවයි. ඒ සම්බන්ධයෙන් තරගාවලියේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියාට එරෙහිවත් විමර්ෂණයක් සදහා ශ්‍රී ලංකාව ලෝක මලල ක්‍රීඩා ආයතනයට හා ආසියානු මලල ක්‍රීඩා සංගමයට පැමිණිළි කළ බව වාර්තා විය.

එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාට ඉසව්වට සහභාගි වීමේ අවස්ථාව සළසාදීම සදහා එම ඉසව්ව ආරම්භ කර තිබියදී අතරමග අත් හිටුවා තිබේ. එහෙත් ඒ වන විට  ක්‍රීඩාංගණයේ දොරටු වසා තිබීම නිසා මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට තරගයට වාර්තා කිරීමේ අවස්ථාව දිගින් දිගටම ඇහිරී තිබූ බවද වාර්තාවේ.

තරගය මග හැරුණු මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට විකල්ප අවස්ථාවක් සළසා ගැනීම සදහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සියළු අභියාචනා යුක්ති සහගත නොවන ආකාරයෙන්  ප්‍රතික්ෂේප කළ බවට එහිදී තරගාවලියේ තාක්ෂණික  අධ්‍යක්ෂවරයාට ශ්‍රී ලංකාවෙන් චෝදනා එල්ල විය.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් අටක් දිනා මෙතෙක් තරගාවලියේ වැඩිම පදක්කම් ගණන දිනා ගැනීමට සමත් වීමත් ඊට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකු තරම් ඉහළම සහභාගිත්වයක් නිර්දේශ කර ගැනීමට සමත්වීමත් කැපී පෙණුනි. 


අදහස් (0)

නිදුකි - අයේෂාට තරග වැදීම අහිමි වීම ඇමැති අණින් විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.