Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාවට

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම.

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ ‘යෙචෙයෝන්’ නුවරදී ඉරිදා (4) ආරම්භ වන 20 වැනි ආසියානු වයස 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය ලබන බදාදා (4) දක්වා එහිදී පැවැත්වේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවෝ සිව් දෙනකු බැගින්ද, නිලධාරීන් හා නිලධාරිනියන් තිදෙනකුද ඇතුළත්ව සිටිති.

1986දී මෙම තරගාවලිය ආරම්භවීමෙන් පසුව ශ්‍රී ලංකාව මේ දක්වා රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් නවයක්ද ඇතුළුව මුළු පදක්කම් 30ක් දිනා තිබේ. අවසන් වරට 2018දී ජපානයේ ‘ගිෆු’ හිදී පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ඇතුළුව (රිදී 4 ලෝකඩ 2) මුළු පදක්කම් නවයක් දිනා තිබේ.
ආසියානු කලාපයේ රටවල් 35කට වැඩි ගණනක් තරග වදින මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකුගේ වාර්තා තවමත් සුරක්ෂිතව පවතී.

වසර 2018 ‘‘ගිෆු’’ තරගාවලියේදී මීටර 400 (පිරිමි) ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට (තත්පර 45.79) ශ්‍රී ලංකා ක්‍රීඩක අනුර දර්ශන සමත්ව ඇත.

1994 ජකර්තා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන දමයන්ති දර්ශා මීටර 100 (කාන්තා) ඉසව්වෙන් තත්පර 11.42කටද, සුසන්තිකා ජයසිංහ මීටර 200 (කාන්තා) ඉසව්වෙන් තත්පර 23.16කටද පිහිට වූ නව වාර්තා තවමත් බිඳ වැටී නැත.

මෙවර තරගාවලියේදී මැදි දුර ධාවන ශූරි (මීටර 400 – මීටර 800) තරුෂි කරුණාරත්න ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුගෙන්ම ශ්‍රී ලංකාව පදක්කම් අපේක්ෂාවෙන් පසුවේ. තරුෂි කරුණාරත්න තරගාවලිය ආරම්භ වන ඉරිදා මීටර 800 (කාන්තා) ඉසව්වට තරග වැදීමට නියමිතය.

වසර 2020ට නියමිතව තිබුණු 19 වැනි තරගාවලිය (බැංකොක් නුවරදී) කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හැර දමනු ලැබීය. මෙම තරගාවලියේ ඉතිහාසය පුරා ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා බවට පත්ව සිටින ජපානය ‘ගිෆු’ තරගාවලියේදී පදක්කම් 14ක් ද චීනය රන් පදක්කම් 11ක්ද දිනා එහි පළමු හා දෙවැනි ස්ථානවලට පත්ව තිබේ.


20 වැනි ආසියානු වයස 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම:

(පිරිමි):- විනෝද් ආරියවංශ (මීටර 400 – කඩුලු - රත්නපුරය ශාන්ත ඇලෝසියස් විදුහල), කේ.බී. මලික් යසිරු (තුන් පිම්ම – කහවත්ත මැදි විදුහල), යසිරු දිල්රංග (මීටර 800 – මීටර 1500 – වලල ඒ රත්නායක මැදි විදුහල), මෙරුන් විජේසිංහ (මීටර 100  කොළඹ ආනන්ද විදුහල).
(කාන්තා) :- තරුෂි කරුණාරත්න (මීටර 400 – මීටර 800 - - වලල ඒ රත්නායක මැදි විදුහල) එම්.එච්.ඒ. උත්තරා (මීටර 400 ගම්පහ සිරිකුරුස බාලිකා විදුහල), රනින්දි ෂෙහංසා ගමගේ (උස පැනීම – පන්නිපිටිය ධර්මපාල විදුහල), දිනාරා බණ්ඩාර දෑල (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල).

(නිලධාරීන්):- කළමනාකරු - සුසන්ත ප්‍රනාන්දු, පුහුණුකරු - ජානක වසන්ත කුමාර, ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය – ඉමල්කා රණවීර යන මහත්ම මහත්මීන්
(මෙම නිලධාරීන්ගේ පත් කිරීම් කර ඇත්තේ ජාතික ක්‍රීඩා සභාව විසිනි).


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම කොරියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.