Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා කණ්ඩායමට 169 ක්

ශ්‍රී ලංකා කණ්ඩායමට 169 ක්

editorial - 2022 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මෙම ජුලි 28 වැනිදා ආරම්භ වන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන් 169 දෙනකුගෙන් සමන්විත සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නිල අනුමැතිය ලැබී තිබේ.

මෙවර ක්‍රීඩා උළෙල අගෝස්තු 8 වැනිදා දක්වා එහිදී පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩා ඉසව් 14කින් ශ්‍රී ලංකාව කණ්ඩායම් ඉදිරිපත් කර තිබේ.

ක්‍රීඩා ඉසව්වක් සඳහා ශ්‍රී ලංකාවේ වැඩිම පිරිස් දායකත්වය රග්බි සත් සාමාජික කාන්තා හා පිරිමි ඉසව් සඳහාය. එය ගණනින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පරිවාර නිලධාරීන් 32 දෙනකුගෙන් සමන්විතය.

මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් විස්සයි-20 (කාන්තා) ක්‍රීඩා ඉසව්වට ද නිර්දේශ වී සිටියි. ඒ සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික (කාන්තා) ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙෙනක් නිර්දේශ වී සිටිති. එහි පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාය.

ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායමට පැරා විශේෂ අවශ්‍යතා සහිත කාණ්ඩයේ ක්‍රීඩා කරන මලල ක්‍රීඩකයකු ද ඇතුළත්ව සිටියි.

මෙම ක්‍රීඩා උළෙලට සමගාමීව බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලන මහ සැසිවාරය නියෝජනය කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන් මේ වනවිටත් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

සංචාරක ශ්‍රී ලංකා නිල සමස්ත කණ්ඩායමට ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන එහි නිලධාරීන් හා නිලධාරිනියන් 15 දෙනකුගෙන් සමන්විත විශේෂ කාර්ය මණ්ඩලයක් ද අන්තර්ගතය.

සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු මහතාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ නිලධාරියකුද පත්කර ඇත. ඔහු චමින්ද අරුණ බණ්ඩාර තෙන්නකෝන් මහතායි.

ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හය දෙෙනක් ඇතුළත් වෙති. ඊට ඇමරිකාවේදී දැන් පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින යුපුන් අබේකෝන් (මීටර් 100 - පිරිමි), නිලානි රත්නායක (මීටර් 3000 බාධක - කාන්තා) හා ගයන්තිකා තුෂාරි අබේරත්න (මීටර 800 - කාන්තා) ද ඇතුළත් වෙති.

මලල ක්‍රීඩා, ක්‍රිකට් විස්සයි-20 (කාන්තා), බර ඉසිලීම් වැනි ඉසව් කීපයකින් ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගැනීම කෙරෙහි වඩාත් විශ්වාසයකින් පසුවේ.

1938 ‘සිඩ්නි’ උළෙලේ සිට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා පදක්කම් දිනාගෙන තිබෙන අතර එදා මෙදා තුළ මලල ක්‍රීඩා, බොක්සිං, ඉලක්කයට වෙඩි තැබීම, බර ඉසිලීම් යන ක්‍රීඩා ඉසව් හතරකින් රන් පදක්කම් 04ක් හා රිදී හා ලෝකඩ පදක්කම් හතරක් බැගින් ද දිනා තිබේ.

 

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම්හි සංයුතිය

ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්ය මණ්ඩලය - නිලධාරීන් හා නිලධාරිනියන් 10යි
වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය – නිලධාරීන් 10යි
ජල ක්‍රීඩා - ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 03, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 02යි.
මලල ක්‍රීඩා - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 03යි
බැඩ්මින්ටන් - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 02යි
පැසිපන්දු (පිරිමි) - ක්‍රීඩකයන් 08, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 02යි
වෙරළ වොලිබෝල් (කාන්තා - පිරිමි) - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08යි, පුහුණුකරුවන් 02යි.
ජිම්නාස්ටික් - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 02යි
ක්‍රිකට් (විස්සයි-20 - කාන්තා) - ක්‍රීඩිකාවන් 15, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 06යි
ජූඩෝ - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 05, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 03යි
මලල ක්‍රීඩා (පැරා විශේෂ අවශ්‍යතා සහිත කාණ්ඩය) – ක්‍රීඩකයන් 01, පුහුණුකරුවන් 01යි
රග්බි (සත් සාමාජික කාන්තා - පිරිමි) - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 06යි
ස්කොෂ් - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04, පුහුණුකරුවන් 01යි
බර ඉසිලීම් - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 04යි
මල්ලවපොර – ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලය 02යි
බොක්සින් - ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08, පරිවාර කාර්ය මණ්ඩලය 02 යි


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට 169 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.