Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුමේධ ඔලිම්පික් සුදුසුකම් ලබා ගනී

සුමේධ ඔලිම්පික් සුදුසුකම් ලබා ගනී

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සරසවි සිසුවෙකු වන සුමේධ රණසිංහ ඊයේ (3) සාෆ් මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේදී හෙල්ල විසිකිරීම (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් එළඹෙන රියෝ ඔලිම්පික් උළෙලේ (2016) තරග වැදීමටද සුදුසුකම් ලබා ගත්තේය.

ඔහු මීටර් 83.04 ක දක්ෂතාවයක් දක්වමින් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම විශිෂ්ඨ දස්කමකි.

රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සුදුසුකම් ලබාසිටියේ මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ මැරතන් ක‍්‍රීඩිකා ගීතානි රාජසේකර පමණි.

රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට අවම සුදුසුකම් වූයේ මීටර් 83.00කි. මෙම ඉසව්වේ නව ශ‍්‍රී ලංකා වාර්තාවද පිහිටුවමින් දස්කම් දැක්වූ සුමේධ රණසිංහ 2013 ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී සජිත් මධුරංග විසින් මීටර් 79.62කට පිහිටුවන ලද පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය.

ගුවන් හමුදාවේ ස්වේච්ඡ සේවයේ නිරත සුමේධ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා හා ක‍්‍රීඩා විද්‍යා උපාධි අපේක්ෂකයකු ලෙස එහි කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබයි.

ජාත්‍යන්තර තරග අත්දැකීම් දෙකක් පමණක් මේ වනවිට ලබා තිබෙන සුමේධ අවසන් වරට පසුගිය ඔක්තෝබර් මාසයේ බැංකොක් නුවර පැවැති තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවෙමින් මීටර 79.19ක දක්ෂතාවයක් දක්වා තිබිණ.

සුමේධ කෑගල්ල මහ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ඔහුගේ වත්මන් පුහුණුකරු ලෙස ප‍්‍රදීප් නිශාන්ත මහතා කටයුතු කරයි.
සුමේධ පැවැති ලෝක ආරක්ෂක හමුදා කී‍්‍රඩා උළෙලට හා ලෝක සරසවි ක‍්‍රීඩා උළෙලටද සහභාගි වූ ක‍්‍රීඩකයෙකි.

මේ අතර ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම සඳහා ඊයේ දියගම මහින්ද රාජපක්ෂ පිටියේ කැඳවූ ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේ දිනය නිමාවේ. තවත් එක් ශ්‍රී ලංකා වාර්තාවක් රිටි පැනීම (පිරිමි) ඉසව්වෙන් පිහිටුවනු ලැබිණ.

ඒ තමන්ගේම පැරණි ශ්‍රී ලංකා වාර්තාව අළුත් කළ ගුවන් හමුදා ක‍්‍රීඩක එම්.එම්. ඉසුරු සඳරුවන් ක‍්‍රීඩකයායි.

පසුගිය (2014) ජූලි මාසයේ බැංකොක් නුවර පැවැති තායි විවෘත මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මීටර 4.90කට තමන් විසින්ම පිහිටුවන ලද ශ්‍රී ලංකා වාර්තාව මත දශමයක වෙනසකින් (මීටර 4.91) අලූත් කිරීමට සඳරුවන් සමත් විය.

මේ අතර ඊයේ පැවැති සෙසු තරග ඉසව් අතරින් මීටර 100 (පිරිමි) ඉසව්ව තත්ත්පර 10.39කට ජයගත්  හිමාෂි ඒසාන්ගේ දක්ෂතා කැපී පෙණුනි.

එය මීටර 100 (පිරිමි) ඉසව්වේ වසර ගණනාවකට පසු හොඳම දක්ෂතාවයක් වන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ දත්ත සටහන්කරු ජී.ජී.යූ. සමන් කුමාර මහතා පැවැසීය.

මෙම ඉසව්වේ ජාතික වාර්තාවේ මෙතෙක් බිඳ නොවැටුණු පැරණිතම මලල ක‍්‍රීඩා වාර්තාවක් වන අතර 1999 චෙන්නායි නුවරදී චින්තක ද සොයිසා මීටර 10.29කට වාර්තාව පිහිටුවා තිබේ.

රිටි පැනීමේ ඉසව් පමණක් ඊයේ සුගතදාස පිටියේදී පැවැති අතර දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී අදත් (4) තේරීම් තරග පැවැත්වේ.

ලබන සඳුදා (7) රැස්වන ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුව එම තරගාවලියේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කරමින් ලබන වසරේ පෙරබාවරි 6 වැනිදා ආරම්භවන ඉන්දියාව - ඇසෑම්ප‍්‍රාන්තය බව ප‍්‍රකාශ වී තිබෙන 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි කෙරෙන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම තෝරාගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 75 දෙනෙකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි මලල ක‍්‍රීඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

 


අදහස් (0)

සුමේධ ඔලිම්පික් සුදුසුකම් ලබා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.