Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner නදීකාට හයවැනි තැන

නදීකාට හයවැනි තැන

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ තරග වැදුණු ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි හයවැනි ස්ථානය ලැබුවාය. හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වට තරග වැදුණු ඇය එහිදී මීටර 59.04 ක දක්ෂතාවයක් දැක්වූ අතර, නව තරග වාර්තාවක් පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකා කිමී මයිකල් සමත්වූවාය.

එම ඉසව්වේ රිදී පදක්කම දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකා සුනීති විල්ජෝන් විසින් ද (මීටර 63.19) ලෝකඩ පදක්කම  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකා කෙල්සි ලී රොබට් විසින් ද දිනා ගන්නා ලදී.

පසුගිය ”දිල්ලි” ක‍්‍රීඩා උළෙලේදී (2010) එම ඉසව්වේ රිදී පදක්කම (මීටර 60.90) දිනා ගත් කිමී මයිකල් ”මොස්කව්” ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ද (2013) හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම දිනා තිබේ. කෙසේ වුවත් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඇගේ දක්ෂතාවය 17 වැනි ස්ථානයට (මීටර 59.23) සීමා වූවාය.

33 හැවිරිදි නදීකා ලක්මාලි සහභාගි වූ දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මෙය වන අතර, නවදිල්ලි (2010) ක‍්‍රීඩා උළෙලේ ඇගේ දක්ෂතාවය සටහන් වූයේ මිටර් 53.36 කටය. එහිදීත් ඇය අත්කර ගත්තේ හය වැනි ස්ථානයයි. කෙසේ වුවත් ”ග්ලාස්ගෝ” පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ඇගේ  දක්ෂතාවය මේ තරග වාරයේ ඇගේ හොඳම දක්ෂතාවය ලෙසද වාර්තා පොතට එක්වේ.

නදීකා වසර 2013 මොස්කව් නගරයේ පැවැති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් ද හිමිකර ගත්තාය. ඇගේ මීළඟ සූදානම ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ඉංචියෝන් ආසියානු ක‍්‍රීඩා උළෙලට තරග වැදීමය.

මේ අතර ලෙසෝතෝ රාජ්‍යයෙන් ආ ක‍්‍රීඩිකාව තත්පර 49කදී පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා බොක්සින් ක‍්‍රීඩිකා ශිරෝමාලි විරරත්න 30 වැනිදා නයිජීරියානු ක‍්‍රීඩිකා වයික් මෙගෝගිට හමුවේ වට 3-0ක පරාජයක් ලැබීය.

කිලෝග‍්‍රෑම් 69-75 ත් අතර කාන්තා ”මැදි බර” පන්තියේ ඉසව්වට තරග වැදුණු මෙම ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවට මුණගැසුණු නයිජීරියානු ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිීරීම් අනුව හත් වැනි ස්ථානය ලබා සිටින, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පස්වැනි ස්ථානය දක්වා පැමිණි ප‍්‍රබල ක‍්‍රීඩිකාවකි.

එම තරග ජය ගැනීමට ශිරෝමාලි සමත්වූයේ නම් අද (1) පැවැත්වෙන එහි ලෝකඩ පදක්කම සඳහා වන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඇයට හිමිව තිබුණි. කෙසේ වුවත් ශිරෝමාලි ජාත්‍යන්තර තරග අත්දැකීම් නොලැබූ නවක ක‍්‍රීඩිකාවක් වන බැවින් ඇය ලෙසතෝ ක‍්‍රීඩිකාව පරාජය කරමින් දෙවැනි වටය දක්වා පිවිසීමට සමත්වීමත් අගය කළ යුත්තකි.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩිකා ඩබ්. කේ.එල්.ඒ. අමාලි මීටර් (800) කාන්තා ඉසව්වේ මූලික වටය තරග වදිමින් විනාඩි 2 තත්පර 8.31කට හත්වැනි ස්ථානයට තරගය නිමා කිරීම දෙවැනි වටයට පිවිසීමට ප‍්‍රමාණවත් නොවීය.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම හෙට (2) මෙවර ක‍්‍රීඩා උළෙලේ සිය අවසන් ඉසව්වට සහභාගි වන අතර, ඒ සඳහා සහය දිවීමේ ක‍්‍රීඩකයන් පස් දෙනකු සූදානමින් සිටිති.

කාලය මැනීමේ (කාන්තා) පාපැදි තරගාවලියට තරග වැදුණු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව වන ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ 35 වැනි ස්ථානය ලැබුවාය. ඇගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 32 කට මදක් වැඩිය. එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් නවසීලන්ත ක‍්‍රීඩිකා උන්ඩා විලූම්යෝගේ සාමාන්‍ය වේගය තරගයේ සටහන් වූයේ පැයට කිලෝමීටර 41.8 කි.


අදහස් (0)

නදීකාට හයවැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.