Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමණාකරු ඉවතට

මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමණාකරු ඉවතට

Nisanka Sandeepani - 2018 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේදී ලබන සිකුරාදා (7) ආරම්භ වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අනිල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ තීරණයක් මත ඉවත් කළ අනිල් වීරසිංහ මහතා වෙනුවට කළමණාකරු ධුරයේ කටයුතු කිරීම සඳහා එම තරග සංචාරයේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

18 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය රටවල් 35 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 437 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ජපානයේ ‘ශීෆු’ නුවරදී පැවැත්වේ. මෙම ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් අනිද්දා (අඟහරුවාදා - 5 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටී. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් උප සභාපතිවරයෙකු ද වන අනිල් වීරසිංහ මහතා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ධුරයෙන් ඉවත් කිරීමට ආසන්නතම හේතුව වූයේ සංගමයේම උප සභාපතිනියක් වන අයිරංගනී රූපසිංහ මහත්මිය සමග ඇති කරගත් බව කියන ගැටුමකි.

කොළඹදී නිමාවට පත් වූ තෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකාර ධුරය දැරුවේද අනිල් වීරසිංහ මහතාය. එහි ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස කටයුතු කළේ අයිරාංගනී රූපසිංහ මහත්මියයි.

ඔවුන් අතර ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විනය පරීක්ෂණයක් පැවැත්වීමටද කටයුතු කළේය. එම සිද්ධියේදී ඔවුන් දෙදෙනා එකිනෙකාට චෝදනාකර සිටියේ දකුණු ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තමන්ට පවරා තිබූ රාජකාරි කටයුතු පැහැර හැරිය බවයි.

තරගාවලියට සූදානම් වෙමින් ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ නතර කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමග රූපසිංහ මහත්මිය එහි නේවාසිකව නොසිටි බව අනිල් රූපසිංහ මහතා එහිදී චෝදනාකර සිටි අතර එම චෝදනාවම රූපසිංහ මහත්මිය වීරසිංහ මහතාට කර සිටියේය.

කෙසේ වුවත් කණ්ඩායමේ කළමණාකරු වශයෙන් කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබියදී ඉන් තමන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව අනිල් වීරසිංහ මහතා පැවසූවේ නැවත ලබා ගැනීමට නිලධාරින් ඉදිරියේ අයදීමට සූදානම් නැති බවයි. 

“මෙතෙක් මම මගේ ධුරයේ රාජකාරී කටයුතු අකුරටම ඉටුකර තිබෙනවා. එබැවින් අවසන් මොහොතේ මා සංචාරයෙන් ඉවත් කළත් ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසුවක් ඇති වන එකක් නෑ කියා මට විශ්වාසයි” යයිද අනිල් වීරසිංහ මහතා පැවසීය. 

අයිරාංගනී රූපසිංහ මහත්මියට එරෙහිව තමාට සහයෝගය පළ කරමින් දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 20 කට ආසන්න ගණනක් ඒ සම්බන්ධයෙන් කරුණු 10 ක් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට බාර දුන් විශ්වාසභංග යෝජනාවක් විමර්ශනයක් නොකරම කවුන්සිල රැස්වීමේදී ඉවත දැමීම සම්බන්ධයෙන් මේ වන විට මලල ක්‍රීඩා සංගමයේ බෙදීමක් ඇති වී තිබේ.

අනිල් වීරසිංහ මහතා ඉවත් කර ඒ තැනට සුසන්ත ප්‍රනාන්දු මහතා පත් කිරීමට ගත් තීරණය මේ වන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඔහුට නිල වශයෙන් දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

 


අදහස් (0)

මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමණාකරු ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.