Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මුල් දිනයේම ශ්‍රී ලංකා වාර්තා දෙකක්

මුල් දිනයේම ශ්‍රී ලංකා වාර්තා දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ දී යගුලිය විසි කිරීම (කාන්තා) ඉසව්වේ අහිමි වූ නව ශ්‍රී ලංකා  වාර්තාවේ හිමිකාරිත්වය යාපනයේදී දැන් පැවැත්වෙන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී  සනාථ කර ගැනීමට තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු අද (30) සමත්වූවාය.

මේ අතර දින කිහිපයකට පෙර අහිමි වූ රිටි පැනීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ඊයේ යාපනයේ දී යළිත් තහවුරු කර ගැනීමට ජෙගතිෂ්වරන් අනීතාට හැකි වූවාය.

42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය යාපනය “දොරේඅප්පා” පිටියේදී පෙරේදා ආරම්භ විය.

යගුලිය විසිකිරීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාලාභීනී
තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු

(ඡායාරූපය - ඒෂාන් ප්‍රනාන්දු)

බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ දී යගුලිය විසිකිරීම (කාන්තා) ඉසව්වෙන් මීට සති කිහිපයකට උඩදී මීටර් 15.39ක දක්ෂතාවයක් දැක්වූයේ එහි එතෙක් පැවැති ශ්‍රී ලංකා වාර්තාව ද අභිබවා යමිනි.

කෙසේ වුවත් පළාත් තරගාවලියක වාර්තා වූ තාරිකාගේ එම දස්කම් නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස පිළිගැනීමට මෙතෙක් ප්‍රමාද වූයේ ඒ සඳහා එහි තරග සංවිධායකයන් නීත්‍යානුකූලව කටයුතු සම්පූර්ණ නොකිරීම නිසා බව මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව යාපනයේදී ඊයේ තාරිකා බිඳ දැමුවේ වසර 2008 දී නයන්ති මුතුනායක විසින් මීටර් 14.88කට පිහිටුවා තිබූ එහි පරැණි ශ්‍රී ලංකා වාර්තාවයි. එම වසරේ පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී නයන්ති එහි පැරැණි ශ්‍රී ලංකා වාර්තාවට එලෙස හිමිකම් කියා තිබුණි.

මේ අතර ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 3.35) පිහිටුවූ ජෙගතීස්වරන් ඇනීතාගේ එම වාර්තාව ඊට දින කිහිපයකට පසුව පැවැති යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී බිඳදැමීමට හර්ෂනී ධර්මරත්න සමත් වූයේ මීටර් 3.40ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

යාපනය දොරේඅප්පා පිටියේදී ඊයේ යළිත් සිය දක්ෂතා ඉහළ නැංවූ යාපනය මහජන විදුහලේ 19 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන ඇනීතා මීටර් 3.41ට එහි නව ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීමට සමත්වූයේ හර්ෂනී සතුව තිබූ එහි නව ශ්‍රී ලංකා වාර්තාව දින කිහිපයක් තුළදී උදුරාගනිමිනි. රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් මීට පෙර අවස්ථාවකදී එහි පළමු ශ්‍රී ලංකා වාර්තාලාභිනිය වූ අනෝමා කරුණාවංශ හා වරක් එහි සම හිමිකාරියක් බවට පත්වීමට ද ඇය සමත් වූවාය.

42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මුල් දිනයේදීම නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහිවන අතර, අද සහ හෙට (1-2) තවත් මලල ක්‍රීඩා ඉසව් ගණනාවක් පැවැත්වීමට නියමිත ය. දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා උළෙල හෙට අවසන් වන අතර හෙට පස්වරු 3ට පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.

පළමු වතාවට යාපනයේ දී ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය වුවත් එය නැරඹීමට පැමිණ සිටියේ අල්ප ජනතාවකි. සමාරම්භක උත්සවයට උතුරු පළාතේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහභාගි නොවීමත් එහිදී අවධානය දිනා ගත් අතර, මෙවර ක්‍රීඩා උළෙලේ මාධ්‍ය ආවරණය සඳහා මාධ්‍යවේදින් 125කට ආසන්න පිරිසක් සහභාගි වී සිටීමත් තවත් කැපී පෙනෙන සිදුවීමකි. ඊයේ වන විටත් ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය බස්නාහිර පළාත තහවුරු කරගෙන තිබුණි.


අද (30) දිනයේ මලල ක්‍රීඩා තරග ප්‍රතිඵල:


රිටි පැනීම - (කාන්තා)

ජෙගදීෂ්වරන් ඇනීතා (උතුරු පළාත - මීටර 3.41 - නව ශ්‍රී ලංකා වාර්තාවකි)
2. හර්ෂනී දිල්රුක්ෂි (උතුරු මැද 3.10)
3. අයි. සුගිතා (උතුරු 3.10)


යගුලිය විසිකිරීම (කාන්තා)

1. තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු (බස්නාහිර - මීටර 15.25 - නව ශ්‍රී ලංකා වාර්තාවකි)
2. ප්‍රියංගිකා කුමාරි (සබරගමුව - 11.88)
3. ෂාමියා රිසාඞ් (බස්නාහිර - 11.46)


මීටර 400 කඩුලු (පිරිමි)

1. ඒ.එල්.ඒ.අයි. රත්නසේන (සබරගමුව - තත්ත්පර 51.2)
2. එස්.එම්.ඒ. චතුරංග (ඌව - 51.3)
3. එස්.පී.ඒ. දර්ශන (නැගෙනහිර - 53.5)


මීටර 10,000 (පිරිමි)

1. ඩී.එල්. සමරජීව (මධ්‍යම - විනාඩි 31 තත්ත්පර 28.2)
2. පී.ඒ.පී. මධුරංග (සබරගමුව - 31.44.5)
3. කේ.ජී.ආර්.එස්. කුමාර (ඌව - 31.57.2)


මීටර 5000 (කාන්තා)

1. නිලානි රත්නායක (සබරගමුව - විනාඩි 17. තත්ත්පර 07.6)
2. ඒ.එන්.එල්. ආරියදාස (සබරගමුව - 17.20.5)
3. එස්.ඒ. ළමාහේවා (ඌව - 17.28.4)


මිටිය විසි කිරීම (පිරිමි)

1. එම්.ආර්.එස්. කුමාර (සබරගමුව - මීටර 46.49)
2. කේ. නිලන්ත (බස්නාහිර - 46.43)
3. එල්.ඒ.ඩී.පී. ඇලිසන් (බස්නාහිර - 45.40)


මීටර 200 - (කාන්තා)

1. ෂාමිලා ජයතිලක (බස්නාහිර - තත්. 24.8)
2. එම්.එම්.එන්. හේරත් (උතුරුමැද - 25.1)
3. එස්.එල්. විදානගේ (ඌව - 25.2)


කවපෙත්ත විසිකිරීම (පිරිමි)

1. ටී.එම්. ආසික් (නැගෙනහිර - මීටර 48.34)
2. කේ.එම්.එස්. නිරෝෂණ (දකුණ - 41.77)
3. ටී.ජී.ඩී. චතුරංග (දකුණ - 40.95)


මීටර 200 (පිරිමි)

1. කේ.එස්.එල්. වික්‍රමසිංහ (දකුණ - තත්. 21.8)
2. ඒ.ආර්.එම්. රාජජනාත් (නැගෙනහිර - 21.9)
3. එම්.පී.ඒ.එල්. මිණිමුතු (සබරගමුව 21.0)


තුන් පිම්ම (කාන්තා)

1. දිල්රුක්ෂි මොහොට්ටාල (බස්නාහිර - මීටර 12.56)
2. හිරුණි දිසාලා විජේසේකර (සබරගමුව - 12.49)
3. තක්ෂිලා ලක්ෂානි (වයඹ - 12.04)

 


අදහස් (1)

මුල් දිනයේම ශ්‍රී ලංකා වාර්තා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.