Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ශ්‍රී ලංකාවට පස්වැනි තැන

ශ්‍රී ලංකාවට පස්වැනි තැන

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේදී පැවැති 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසද එය වාර්තා පොතට එක්කළහ. මේ මස 07 වැනිදා සිට ජපානයේ ගිෆූ නුවරදී පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ආසියාවේ පස්වැනි ස්ථානය හිමිකරගැනීමටද සමත් වූහ.

තරගාවලියේ පළමු ස්ථානයට ජපානයට හිමිවූ අතර චීනය, ඉන්දියාව සහ චීන තායිපේ යන රටවල් පිළිවෙලින් දෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා හිමිකරගත්හ.
 
මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියකදී දිනා තිබූ වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 2012 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී දිනූ පදක්කම් 6 යි. ඊට රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ඇතුළත් විය.

මෙවර තරගාවලියේදී වැඩි දෙනාගේ කතාබහට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ මීටර් 400 (පිරිමි) ඉසව්වට සහභාගි වූ වීර කැප්පැටිපොල මහ විදුහලේ අරුණ දර්ශනයි. ප්‍රබල ක්‍රීඩකයන් රැසක් පරාජය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් වූයේ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ නව වාර්තාවක්ද පිහිටුවමිනි. මීටර් 400×4 (පිරිමි) සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසද අරුණ කටයුතු කළේය. ඒ අනුව මෙවර තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් රන් පදක්කම් දෙකකට හිමිකම් කී එකම ක්‍රීඩකයා බවට පත් වීමටද ඔහු සමත් විය.

පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව පිරිමි විදුහල), රවිශ්ක ඉන්ද්‍රජිත් (කොළඹ ශාන්ත බෙනඩික් විදුහල) සහ පබසර නිපුන් (කොළඹ නාලන්දා විදුහල) මීටර් 400×4 සහාය දිවීමේ (පිරිමි) කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ.

ශ්‍රී ලංකාවට හිමි වූ තෙවැනි රන් පදක්කම දිනාගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පාරමී වසන්ති සමත් වූයේ මීටර් 3000 (කාන්තා) බාධක දිවීමේ තරගය ජයගනිමිනි. අරුණ දර්ශන මීටර් 400 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා නව වාර්තාවක්ද පිහිටුවද්දී, එම ඉසව්වේ රිදී පදක්මට හිමිකම් කීමට පසිඳු කොඩිකාර සමත් විය.

මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාශා ද සිල්වා මීටර 100 සහ මීටර් 200 (කාන්තා) ඉසව්වල රිදී පදක්කම් දිනාගනිද්දී, වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහලේ දිල්ෂි කුමාරසිංහ මීටර් 400 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම සහ මීටර් 800 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තාය.

ඉන් නොනැවතුන දිල්ෂි, මීටර් 400×4 (කාන්තා) සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළාය. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉෂාරා අත්තිඩිය සහ මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහලේ අමාශා ද සිල්වා එම  කණ්ඩායමේ සෙසු සාමාජිකාවෝ වූහ.

රන් පදක්කම්
■    මීටර් 400 (පිරිමි) - අරුණ දර්ශන (වීර කැප්පැටිපොල මහ විදුහල)
■    මීටර් 400×4 (පිරිමි) සහාය දිවීම - අරුණ දර්ශන (වීර කැප්පැටිපොල මහ විදුහල), පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව පිරිමි විදුහල), රවිශ්ක ඉන්ද්‍රජිත් (කොළඹ ශාන්ත බෙනඩික් විදුහල) සහ පබසර නිපුන් (කොළඹ නාලන්දා විදුහල)
■    මීටර් 3000 (කාන්තා) බාධක දිවීම - පාරමී වසන්ති (කුලියාපිටිය මධ්‍ය මහා විදුහල)


රිදී පදක්කම්
■    මීටර් 400 (පිරිමි) - පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව පිරිමි විදුහල)
■    මීටර 100 (කාන්තා) - අමාශා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල)
■    මීටර 200 (කාන්තා) - අමාශා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල)
■    මීටර් 400 (කාන්තා) - දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල)


ලෝකඩ පදක්කම්
■    මීටර් 800 (කාන්තා) - දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල)
■    මීටර් 400×4 (කාන්තා) සහාය දිවීම - දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහල), සචිනි දිව්‍යාංජලී (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල), ඉෂාරා අත්තිඩිය (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) සහ අමාශා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල)


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පස්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.