Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner සිවු දිගින් 2600 ක් යාපනයට රැස්වෙති

සිවු දිගින් 2600 ක් යාපනයට රැස්වෙති

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය අනුග්‍රහයෙන්  සංවිධානය කෙරෙන ප්‍රධානතම ක්‍රීඩා තරගමාලාව  වන ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී හෙට (29 වැනිදා) ආරම්භ වේ. උතුරු පළාතේ නගරයකදී ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ පළමු වතාවටය.

මෙවර පැවැත්වෙන්නේ 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලයි.

වසර 2000 සිට අවස්ථා ගණනාවකදීම යාපනයේදී ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනයේදී පැවැත්වීමට ගත් උත්සාහයන් අසාර්ථක වූයේ එකල එහි පැවැති සිවිල් යුද්ධයේ බලපෑම් හේතුවෙනි. වසර 2002 දී එවකට ක්‍රීඩා ඇමති ධුරය දැරූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, වසර 2010 සිට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් ජාතික මහා ක්‍රීඩා උළෙල යාපනයේදී පැවැත්වීමට උත්සාහ දැරූහ. සිවිල් යුද්ධයට සම්බන්ධව සිටි ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන කොටි සංවිධානය සමග අතරමැදියන් මාර්ගයෙන් සාකච්ඡා කිරීමටද එම ක්‍රීඩා ඇමතිවරු පියවර ගත්හ.

යටිතල පහසුකම් අවම තත්ත්වයෙන් පැවැතීමත් යාපනයේදී ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද කළේය. සුදුසු ක්‍රීඩාංගණ නොමැතිවීම පානීය ජල ප්‍රශ්නය සහ නවාතැන් පහසුකම් එහිදී වඩාත් ඉස්මතු විය.

කෙසේ වෙතත් ඉන්දීය මධ්‍යම රජය විසින් රුපියල් මිලියන 200ක වියදමින් යාපනය දොරේඅප්පා පිටිය  ප්‍රතිසංස්කරණය කරදීම එහිදී ක්‍රීඩා උළෙල පැවැත්වීම වඩාත් තහවුරු කළේය.

හෙට ආරම්භ වන 42 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන ඉරිදා (2) දක්වා දින හතරක් පුරා පැවත්වේ. ක්‍රීඩා උළෙල ඇතුළට ක්‍රීඩා ඉසව් 34 න් 11 ක් යාපනයේදී පැවැත්වෙන බව ප්‍රකාශ වුවත් එය පසුව පහක් දක්වා අඩු වී තිබේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ක්‍රීඩා උළෙල පැවැත්වීමට යාපනයේ සියළු කටයුතු සූදානම් කර අවසන් බවයි. කෙසේ වුවත් යාපනයෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවුණේ පසුගිය අවසන් දින කීපයේදීත් දොරේඅප්පා ක්‍රීඩාංගණයේ අළුත්වැඩියා කටයුතු ලහිලහියේ කෙරෙමින් පවැති බවයි.

ප්‍රතිසංස්කරණය කළ ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාරයක්

මේ අතර රටපුරා මේ දිනවල ඇතිවී තිබෙන නියඟ තත්ත්වය යාපනය නගරයටද බලපැවැත්වෙනු ඇතැයි වාර්තාවේ. ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා  පැවසුවේ ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු නිලධාරීන්ට කිසිදු ආකාරයකින් පානීය ජල ප්‍රශ්නයක් ඇති නොවීමට තමන් වගබලා ගන්නා බවයි.

ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් මෙම දින හතරේදී යාපනයේ ගත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින්ගේ ගණන 2600 කි. ක්‍රීිඩක ක්‍රීඩිකාවන්ගේ නවාතැන් පහසුකම් සඳහා යාපනය නගරයේ ප්‍රධාන පාසල් පහක් වෙන්කර තිබේ.

ක්‍රීඩා උළෙලට සහභාගි වන පිරිස් යාපනය නගරය බලා පැමිණෙමින් තිබෙන බව වාර්තා විය. තමන් නවාතැන් ගෙන සිටින පාසල්වල ඉවුම් පිහුම් කටයුතු කිරීම තහනම් කිරීමට එම පාසල් බලධාරීන් ගෙන තිබෙන තීරණයක් හමුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් අසීරුතාවට පත්ව තිබූ බවද වාර්තාවේ.

 ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ තමා ඒ කෙරෙහි එම අවස්ථාවේදීම අවධානය යොමුකර අවශ්‍ය පියවර ගත් බවය.

හෙට පස්වරු 3.00 ට සමාරම්භක උත්සවයෙන් ක්‍රීඩා උළෙලේ කටයුතු ආරම්භ වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතව සිටින බැවින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ කතානායක කරු ජයසූරිය මහතාය. එම අවස්ථාවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන්, එහි ක්‍රීඩා ඇමැති ටී. ගුරුකුලරාජා යන මහත්වරු ඇතුළු එහි ඇමැතිවරු රැසක්ද සහභාගි වෙති.

මෙවර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ලබන ඉරිදා පස්වරු 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනාධිපතිවරයා ක්‍රීඩාංගණයට පැමිණීමෙන් පසුවද මලල ක්‍රීඩා සහාය ඉසව් හා කඹ ඇදීමේ අවසන් මහ තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 මලල ක්‍රීඩා ඉසව් අනිද්දා (30) සිට ආරම්භ වේ. එහිදී ඉසව් අවසන් තරග 38 ක් මෙම දින තුන පුරා පැවැත්වෙන අතර පාපන්දු කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙක පැවැත්වෙන්නේ ලබන සෙනසුරාදා (1) යාපන දොරේඅප්පා ක්‍රීඩාංගණයේදීය.

අනිද්දා පෙරවරු 6.30 ට පැවැත්වෙන මීටර් 10000 (පිරිමි) ඉසව්වෙන් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ආරම්භ වේ.

 මෙම  28,29,30 යන දිනවල පැසිපන්දු තරගාවලිය යාපනය මධ්‍ය  මහා විදුහල් පිටියේදී කබඩි (වෙරළ) තරගාවලිය පේදුරුතුඩුව ‘ගෝල්ඩන්’ වෙරළ තීරයේදීද කඹ ඇදීමේ තරගාවලියේ මූලික තරග යාපනය ‘දමිළ’ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ ගිනි සිළුව දැල්වීම සඳහා ආරාධනා ලබා සිටින්නේ හිටපු ජාතික දැල්පන්දු  හා මලල ක්‍රීඩා ශූරියක් වන ජයන්ති සෝමසේකරම් මහත්මිය හා හිටපු ජාතික පාපන්දු ශූරයෙකු වන එස්. ඇන්තනිපිල්ලේ මහතාය. ඔවුන් දෙදෙනාම යාපනයෙන් බිහිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

බස්නාහිර පළාත රන් පදක්කම් 77 ක් දිනා ගනිමින් ගියවරත් ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත  ශූරතාව දිනාගත්තේය.

 

42 වැනි ජාතික මහා ක්‍රීඩා උළලේ මෙතක් පැවැති  තරග ප්‍රතිඵලවලට අනුව පළාත් පදක්කම් ලබා තිබෙන අයුරු

(සැප්තැම්බර් 28 වන විට)

  පළාත රන් රිදී ලෝකඩ  
1 බස්නාහිර 56 44 36
2 මධ්‍යම 23 23 22
3 දකුණ 15 12 28
4 වයඹ 15 25 25
5 උතුරු මැද 15 12 37
6 සබරගමුව 8 14 29
7 ඌව 8 7 18
8 නැගෙනහිර 4 4 9
9 උතුර 1 1 3

 

ඡායාරූප : ක්‍රීඩා අමාත්‍යංශය අනුග්‍රහයෙනි


අදහස් (0)

සිවු දිගින් 2600 ක් යාපනයට රැස්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.