Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner අන්ජානි අවුරුදු 23 ක වාර්තාවක් බිඳදමයි

අන්ජානි අවුරුදු 23 ක වාර්තාවක් බිඳදමයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර, කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති 30 වැනි ජාතික යොවුන් ක්‍රීඩා හා මලල ක්‍රීඩා තරගාවලියේදී වසර 23 ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට දුර පැනීමේ ක්‍රීඩිකා අන්ජානි පුලවංශ සමත් වූවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩිකාවක් වන ඇය පෙරේදා (27) දුර පැනීම වයස 20 න් ඉහළ කාන්තා ඉසව්වේදී මීටර් 5.96 ක් වන පිම්මක් සාර්ථක කර ගනිමින් එම දස්කම දැක්වූවාය. ඒ 1994 දී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු ශෂිකලා නිම්මිද සොයිසා මීටර් 5.79 කට පිහිටුවා තිබූ එහි වාර්තාව බිඳ දමමිනි.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 6.43 ක් වන අතර, ඊට හිමිකම් කියන්නේ එන්.සී.ඩී. ප්‍රියදර්ශනීය. මේ අතර එදින වාර්තාවූ සෙසු මලල ක්‍රීඩා නව තරග වාර්තා අතර කෑගල්ල කලාපයේ රන්දිකා ගුණතිලක වයස 20 න් පහළ කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීමේ ඉසව්ව තත්ත්පර 15.24 කට නිම කරමින් පිහිටුවූ නව වාර්තාවද කැපීපෙනුනි. බී.එස්. දුලක්ෂි ගම්පහ කලාපය නියෝජනය කරමින් මීට ප්‍රථම එහි නව වාර්තාවට හිමිකම් කීවේ තත්පර 15.50 කටය.

පසිඳු කොඩිකාර  මීටර් 400 වයස 20 න් පහළ පිරිමි ඉසව්ව තත්පර 47.58 කට නිමකරමින් නව වාර්තාවට හිමිකම් කීවේය.

මේ අතර කොටවිල ගෘහස්ථ පිටියේදී පෙරේදා පැවැති ජාතික යොවුන් ක්‍රීඩා කඹ ඇදීමේ තරගාවලියේ පිරිමි අවසන් මහ තරගයට අනුරාධපුර කණ්ඩායම නොපැමිණීමෙන් ගම්පහ කණ්ඩායමට නිතරග ජයක් අත්විය. පිරිමි අවසන් මහ තරගය එසේ වුවත් කඹ ඇදීම අනුරාධපුර පිලට එරෙහිව කාන්තා අවසන් මහා තරගය ජය ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට කොළඹ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පසුගිය තරගාවලියේදී පිරිමි කඹ ඇදීමේ රන් පදක්කම දිනාගත්තේද ගම්පහ දිස්ත්‍රික්කය විසිනි. එවර කාන්තා ශූරතාව දිනාගත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයයි.

 


අදහස් (0)

අන්ජානි අවුරුදු 23 ක වාර්තාවක් බිඳදමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.