Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner කාන්තා රිටි පැනීමෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්

කාන්තා රිටි පැනීමෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ දී අද (1 වැනිදා)  39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙල ආරම්භවී විනාඩි කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් රිටි පැනීම කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නැගෙනහිර පළාතේ අනෝමා කරුණාවංශ සමත් වූවාය. ඇය විසින් පිහිටුවන ලද නව ශී‍්‍ර ලංකා වාර්තාවේ දක්‍ෂතාව මීටර 3.31 කි.

ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වීමත් සමග මෙවර ක‍්‍රීඩා උළෙලේ සුපිරි ත්‍යාගයට නිර්දේශ වූ පළමු ක‍්‍රීඩිකාව බවට ද පත්ව සිටින අතර මෙවර ක‍්‍රීඩා උළෙලේ නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් හොඳම දක්ෂතාව පළ කරන්නාට මෝටර් රථයක් තෑගි කෙරේ.

කෙසේ වුවත් මෙවර ක‍්‍රීඩා උළෙලේදී නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවන්නට සමත් වන්නේ ඇය පමණක් නම් රුපියල් මිලියන 2.4ක් පමණ වටිනා මෝටර් රථය ඇයට හිමිවනු ඇත.

මෙවර මෝටර් රථයක් දිනා ගනු ඇතැයි විශ්වාසය පළ කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් හෙල්ල විසි කිරීමේ ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි ද ඉදිරියෙන්ම පසුවන්නීය. පසුගියදා මොස්කව් නුවර දී නිමාව දුටු 14 වැනි ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ හොඳම ක‍්‍රීඩිකාවන් 12 දෙනා අතරට පත්වෙමින් දස්කම් දැක්වීමට ඇය සමත් වූවාය.

පූනේ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ (2013) එම ඉසව්වේ රිදී පදක්කම් ලාභිනය ද වන නදීකා පසුගිය ජුලි මාසයේ දී දෙවතාවක්ම එහි ශ්‍රී ලංකා වාර්තාව (මීටර් 60.64) අලූත් කිරීමටද සමත් වූවාය.

රිටි පැනීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූ අනෝමා එහි පැරණි ශ්‍රී ලංකා වාර්තාවේ ද (මීටර් 3.30) හිමිකාරිය වන අතර ගිය වර සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති 38 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ දී ද ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම දිනා ගත්තාය. මෙම ඉසව්වේ ක‍්‍රීඩා උළෙලේ පැරණි තරග වාර්තාව මීටර් 3.30 ක් විය.

අද පස්වරුවේ පැවැති සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආරාධනා ලබා සිටියත් ඒ වෙනුවට සහභාගි වූයේ අගමැති දි.මු. ජයරත්න මහතා ය.

අද පෙරවරුවේදී පැවැති මීටර් 10000 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මධ්‍යම පළාතේ ලයනල් සමරජීවය. ඒ විනාඩි 30 තත්තපර 36.07කටය. එහි ශ්‍රී ලංකා වාර්තාවට වසර 38ක් ගෙවී ගොස් ඇතත් එය තවමත් නොබිඳී පවතී.

එස්. එල්. බී. රෝසා විසින් 1975 දී විනාඩි 29 තත්ත්පර 18 කින් මීටර 10,000 ඉසව්ව නිම කරමින් එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන ලද අතර වසර 2000 ක‍්‍රීඩා උළෙලේ දී විනාඩි 29 තත්ත්පර 33.60 කින් ඉසව්ව නිම කරමින් ජාතික කී‍්‍රඩා උළෙලේ වාර්තාව පිහිටුවීමට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සමත් විය.

 

 

 

 

 

 

 

 


 

 

තරග ප‍්‍රතිඵල

රිටි පැනිම (කාන්තා)
1. අනෝමා කරුණාවංශ (නැගෙනහිර මීටර 3.31කට ශ්‍රී ලංකා වාර්තාවකි), 2. ජේ. ඇනිටා (උතුර - 2.80), 3. ආර්. කාවෙරි (උතුරු පළාත 2.80)

යගුලිය විසිකිරීම (කාන්තා)
1. කුමුදුමාලී ප‍්‍රනාන්දු (බස්නාහිර - මීටර 13.82), 2. ඩබ්.එම්.එස්.කේ. වීරසේකර (උතුරු මැද 12.06), 3. අවන්ති සිල්වා (බස්නාහිර 11.70).

හෙල්ල විසි කිරීම (පිරිමි)
1. සම්පත් රණසිංහ (දකුණ මීටර 69.92), 2. කේ.පී.කේ. රණතුංග (බස්නාහිර 67.09), 3. ආර්.එම්.එස්.ජේ. රණසිංහ (සබරගමුව 66.38)

මීටර 5000 (කාන්තා)
1. ගයාත‍්‍රී අබේරත්න (දකුණ විනාඩි 17 තත්ත්පර 14.89), 2. ඒ.එන්.එල්. ආරියදාස (සබරගමුව 17.18.75), 3. එම්.ඒ.ටී.පී. හේමමාලි (සබරගමුව 17.32.90)

තුන් පිම්ම (කාන්තා)
1. එරන්දි රත්නසිරි (සබරගමු මීටර 12.39), 2. එන්.පී.ඞී. පි‍්‍රයදර්ශනී (බස්නාහිර 12.16), 3. ඞී.වී.සී.එම්. තිලකරත්න (වයඹ 12.15)

මීටර 10000 (පිරිමි)
1. ලයනල් සමරජීව (මධ්‍යම - විනාඩි 30 තත්ත්පර 36.7), 2. ජයතිලක බණ්ඩාර (ඌව 31.10.6), 3. උපුල් විජිත කුමාර (දකුණ 31.21.2)

 

- නාමල් පතිරගේ, ගම්පොළ සුරංග රාජනායක නාවලපිටියේ සිට

(ඡයාරූප: රොමෙෂ් ධනුෂ්ක සිල්වා)


අදහස් (0)

කාන්තා රිටි පැනීමෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.