Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ජාතික මහා කී‍්‍රඩා උළෙලේ තෑගි ගොන්නට සුපිරි මෝටර් රථයකුත්

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ තෑගි ගොන්නට සුපිරි මෝටර් රථයකුත්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නාවලපිටිය ”ජයතිලක” ක‍්‍රීඩාංගනයේදී ලබන ඉරිදා (1) ආරම්භවන 39 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ජයග‍්‍රාහී කණ්ඩායම් හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ප‍්‍රදානය කෙරෙන ත්‍යාග මුදල් වැඩිකර තිබේ.

39 වැනි වරටත් මෙවර පැවැත්වෙන ක‍්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවන කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් අතරින් වඩාත් ඉහළ දක්‍ෂතාවය පළ කර තිබෙන මලල ක‍්‍රීඩකයාට හෝ මලල ක‍්‍රීඩිකාවට සුපිරි මෝටර් රථයක් ප‍්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

රාජ්‍ය අනුග‍්‍රහයෙන් වසරේ පැවැත්වෙන ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල සඳහා මහ භාණ්ඩාගාරයේ හා ජාතික ක‍්‍රීඩා අරමුදලින් රුපියල් මිලියන 60 කට ආසන්න මුදලක් වෙන් කෙරේ.

මෙවර තෑගි මුදල් බෙදාදීම සඳහා රුපියල් මිලියන හයක් වෙන්කර තිබේ. ක‍්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව සඳහා යතුරු පැදි දෙකක්ද පිරිනැමෙයි.

පළමු වතාවට කණ්ඩායම් ක‍්‍රීඩා ඉසව්හි රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගන්නා කණ්ඩායම්හි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පෞද්ගලිකවම රුපියල් 3000, 2000, 1000 බැගින් ප‍්‍රදානය කෙරෙති.

මෙවර කේවල ඉසව්හි රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රුපියල් 7500, 5000, 3000 ක් බැගින්ද පිරිනැමෙති.
ජාතික මහ ක‍්‍රීඩා උළෙලට අයත් ක‍්‍රීඩා ඉසව් තිස් හයක දක්‍ෂතම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව සඳහාද රුපියල් 5000 බැගින් තිළිණ කෙරෙති.
ජයතිලක ක‍්‍රීඩාංගනයේදී ලබන ඉරිදා පස්වරු 3.30 ට පැවැත්වෙන සමාරම්භක උ්තසවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීමට නියමිතය.

ලබන බදාදා (3) පස්වරු 2.30 ට ක‍්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය ආරම්භවන අතර එහි ප‍්‍රධාන ආරාධිතයා වන්නේ අගමැති දි.මු. ජයරත්න මහතාය.

මෙම දින තුනේදී මලල ක‍්‍රීඩා ඉසව් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1251 ක් වොලිබෝල් තරගාවලිය කාන්තා හා පිරිමි අවසන් මහ තරග සඳහා කණ්ඩායම් හතරට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 48 දෙනකු හා දැල්පන්දු තරගාවලිය අවසන් මහ තරගයට සහභාගිවන කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩිකාවන් 24 දෙනෙකුන් සහභාගි වෙති.

මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් එක් අයෙකුට රුපියල් 500 බැගින් දෛනික ආහාරපාන දීමනාවක්ද ක‍්‍රීඩා උළෙලේ රාජකාරි කටයුතු සඳහා සහභාගිවන නිලධාරීන් එක් අයෙකුට රුපියල් 1500 ක් වන දෛනික නවාතැන් දීමනාවක්ද හිමි වෙති.
ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා පැවසුවේ මීට පෙර ක‍්‍රීඩා අමාත්‍යාංශය කෙළින්ම මැදිහත් වෙමින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හා නිලධාරීන්ගේ දෛනික ආහාරපාන හා නවාතැන් පහසුකම් සපයා දුන් බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් එල්ල වෙන ඇතැම් චෝදනා සැළකිල්ලට ගනිිමින් එම කටයුතු අදාළ පළාත් සභාවට පැවරූ බවත් ක‍්‍රීඩා අමාත්‍යාංශය එහිදී වියදම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

වසර 39 ක් පැරණි ක‍්‍රීඩා උළෙල ප‍්‍රතිසංස්කරණය කළ ජයතිලක ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ පළමු වතාවටය.

ලබන වසරේ ක‍්‍රීඩා උළෙල කිලිනොච්චියේදී පැවැත්වෙන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. සුගතදාස පිටියේ පැවැති 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ජයග‍්‍රහනයද රන් පදක්කම් 78 ක් හිමිකර ගනිමින් බස්නාහිර පළාත විසින් දිනා ගන්නා ලදී. ක‍්‍රීඩා උළෙලේ සමාරම්භය සංකේතවත් කරමින් මෙවර පහන දැල්වීම සඳහා මධ්‍යම පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙපොළක්වන හිටපු මලල ක‍්‍රීඩක ඩබ්.ඒ. ආරියසේන මහතා හා හිටපු මේසපන්දු ක‍්‍රීඩිකා දීපිකා රුද්‍රිගු මහත්මිය ආරාධනා ලබා සිටිති.


අදහස් (1)

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ තෑගි ගොන්නට සුපිරි මෝටර් රථයකුත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.