Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ජාතික මහා ක්‍රීඩා උළෙල පසුපසට තල්ලුවෙයි

ජාතික මහා ක්‍රීඩා උළෙල පසුපසට තල්ලුවෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වෙන දිනවලදීම ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් සහ ඇවිදීමේ තරග යොදා ගැනීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජුලි 8,9,10, යන දිනවලදී දියගම ‘මහින්ද රාජපක්‍ෂ පිටියේදී පැවැත්වේ. ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන 42 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් සහ ඇවිදීමේ තරග ලබන ජුලි 9 වැනිදා කුලියාපිටිය නගරයේදී පැවැත්වේ.

මෙම තරගාවලි දෙක එකම දින යොදා ගැනීම හේතුවෙන් දිගු දුර ධාවන ඉසව් සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් අපහසුතාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

 කෙසේ වුවත් මලල ක්‍රීඩා සංගමය එළඹෙන ‘රියෝ’ ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය සංවිධානය කරයි. රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ලබන ජුලි 11 වැනිදා අවසන් වේ.

 එම තත්ත්වය තුළ  ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඊට අවස්ථාවක් කරගෙන තිබෙන බැවින් එය කල්දැමීමට නොහැකි බව මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කර තිබේ. මේ අතර කුලියාපිටියේදී පැවැත්වෙන ජාතික මැරතන් -ඇවිදීමේ තරගාවලිය ද ප්‍රායෝගික හේතු මත කල්දැමිය නොහැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් 22,23,24,25 යන දිනවල බදුල්ල ‘වින්සන්ට් ඩයස්’ පිටියේදී පැවැත්වේ. එම දිනවලදීම 42 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල යාපනය ‘දොරේ අප්පා’  පිටියේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය මේ වනවිට වෙනස්කර ඇතැයිද වාර්තා වේ.

මහවැලි ක්‍රීඩා උළෙල හා ජාතික පාසල් මලල ක්‍රීඩා උළෙලට ද  බාධා නොවන පරිදි 42 වැනි ජාතික මහ කි්‍රීඩා උළෙල ලබන ඔක්තෝබර්  මුල් සතියේදී පමණ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 ජාතික යොවුන් ක්‍රීඩා උළෙල යොදාගෙන තිබූ දිනවලදීම ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් උත්සාහයට හේතුවී  ඇත්තේ ඒ සඳහා ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පහසුව සඳහා බව ද වාර්තා වේ.

කෙසේ වුවත් ජනාධිපතිවරයාම ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට බාධාවක් නොවන පරිදි ජාතික මහ ක්‍රීඩා උළෙල  පස්සට ගැනීමට අවසන් මොහොතේදී ක්‍රීඩා අමාත්‍යාංශය එකඟවී තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසන්නේ තමන් 2016 වසර සඳහා වන දේශීය තරග කාලසටහන වසර මුලදීම සකස්කර අවසන්ව තිබූ බැවින් මෙම ප්‍රශ්නයේදී තමන් අත වරදක් නොමැති බවයි.

ප්‍රධානම  ක්‍රීඩා තරගමාලා සංවිධානය කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ජාතික ක්‍රීඩා සංගම් හා අමාත්‍යාංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොවීම නිසා එකම දිනවල ක්‍රීඩා තරගාවලි සංවිධානය වීමෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් වඩාත් දුෂ්කරතාවට පත්ව සිටින බවද වාර්තාවේ.

 


අදහස් (0)

ජාතික මහා ක්‍රීඩා උළෙල පසුපසට තල්ලුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.