Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 8 දා සිට

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 8 දා සිට

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 94 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මේ මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ‘රියෝ’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් අවස්ථාව ද හිමිවන තරගාවලියක් ලෙස මෙය පත්ව තිබේ.


බ්‍රසීලයේ “රියෝ ද ජෙනයිරෝ” නුවරදී අගෝස්තු 5 වැනිදා ආරම්භ වන 32 වැනි ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබීමට හැකියාව ඇත්තේ මෙම 11 වැනිදා තෙක් පමණි.


මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 820 දෙනකු ඉදිරිපත්ව සිටින අතර තරගාවලියට පිරිමි ඉසව් 20 ක් සහ කාන්තා ඉසව් 20 ක් ලෙස ඉසව් 40 ක් ඇතුළත්වේ.


උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර, හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩිකා නදීකා ලක්මාලි හා මීටර 800 ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි මෙන්ම මීටර 200 ඉසව්වේ ශූර විනෝද් සුරංජය, මෙම තරගාවලියේදී ඔලිම්පික් පරිසාධන මට්ටම ලබා ගනී යැයි වඩාත් විශ්වාසයෙන් සිටින බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය.


රියෝ ඔලිම්පික් උළෙල සඳහා උස පැනීම (පිරිමි) ඉසව්වෙන් මීටර 2.29 ක්ද, හෙල්ල වීසිකිරීම (කාන්තා) ඉසව්වෙන් මීටර 62.00 ක්ද, මීටර 800 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 2 තත්පර 01.50 ක් සහ මීටර 200 ඉසව්වෙන් (පිරිමි) තත්පර 20.50 ක් ලෙස පරිසාධන මට්ටම් සටහන් වේ.


ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම පරිසාධන මට්ටම් කරා ළඟාවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් උපරිම අයුරින් ලබාදී ඇතැයි ද තිලකරත්න මහතා පැවසීය.


“ක්‍රීඩාංගණයේ ධාවන පථයේ ප්‍රශ්න තිබෙනවා. ධාවන පථයේ තරග කිරීමේදී උපරිම දස්කම් අතරට ඒමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි කැපවීමක් කළ යුතුයි”
“මොන දේ වුණත් ඔවුන්ගේ ඉල්ලීම් ද අප සලකා බලනවා යැයි” තිලකරත්න මහතා වැඩි දුරටත් කීය.


ඔලිම්පික් පරිසාධන මට්ටම ආසන්නයේ සිටින ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ට තරග වැදීම සඳහා සුදුසු වේලාවන් අපගෙන් ඉල්ලීම් කළා. එම අවස්ථාවත් අප ඔවුන්ට සලසා දී තිබෙනවා යැයි ද ඔහු පවසයි.


මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ තරග සංචාර අවස්ථා නොලැබීම ගැන මලල ක්‍රීඩා සංගමයට චෝදනා නැගුවත් එම අවස්ථා හැකි උපරිමයෙන් ලබාදීමට සංගමය කටයුතු කර ඇති බවයි.


“මීටර 100 ශූර හිමාෂට වගේම රුමේෂිකාටත් අප අවස්ථාව ලබා දුන්නා....ඒත් හිමාෂ, මාස එක හමාරකින් පුහුණුවීම්වල නිරතව නැහැ”


“මංජුලව අප චීනයට යැව්වා. ආසියානු රටවල තරගවලට ඉදිරිපත්වීමට තමයි අපට අවස්ථාව තිබෙන්නේ. යුරෝපා රටවල දැන් තරගකාරීත්වය වැඩියි. අපට ඒ නිසා අවස්ථාවක් නෑ” යයිද තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කරයි. ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරි අජන්ත සෙනවිරත්න මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) උපාලි ජයකොඩි මහතා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතාට අනුග්‍රහකත්වය පිරිනමන ලද අයුරු. මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ, භාණ්ඩාගාරික ටොනාඩෝ ජයසුන්දර, තරග අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් මංජුල පෙරේරා සහ දත්ත සටහන්කරු සමන් කුමාර යන මහත්වරුද මෙහි සිටිති.                                                                       (ඡායාරූපය - සජීක ජයසිංහ)

 

 

 


අදහස් (0)

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 8 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.