Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner බස්නාහිර දැනටමත් ඉදිරියෙන්

බස්නාහිර දැනටමත් ඉදිරියෙන්

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී හෙට (1 වැනිදා) ආරම්භ වන 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් හෙට පෙරවරු 7.00 ට ආරම්භ වේ. මීටර් 10000 (පිරිමි) ඉසව්ව එහිදී පෙරවරු 7 ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් හැරුණු කොට දැල්පන්දු අවසන් මහ තරඟය සහ වොලිබෝල් (කාන්තා/පිරිමි) අවසන් මහ තරඟ දෙක පමණක් නාවලපිටියේදී පැවැත්වීමට නියමිතය. එම තරඟ අනිද්දා (2) ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දැල්පන්දු රන් පදක්කම සඳහා බස්නාහිර පළාත් කණ්ඩායම හා දකුණු පළාත් කණ්ඩායම අනිද්දා තරඟ වදිති.

වොලිබෝල් කාන්තා රන් පදක්කම දිනා ගැනීමේ අටියෙන් වයඹ පළාත් කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම අනිද්දා පස්වරු 3.30 ට පැවැත්වෙන අවසන් තරගයට සහභාගි වෙති. බස්නාහිර පළාත් කණ්ඩායම හා සබරගමුව පළාත් කණ්ඩායම අතර වොලිබෝල් (පිරිමි) තරගාවලියේ අවසන් මහ තරගය එදින පස්වරු 5.00 ට පැවැත්වේ.

හෙට පෙරවරුවේදී මීටර් 5000 (කාන්තා), තුන් පිම්ම (කාන්තා), හෙල්ල විසිකිරීම (පිරිමි), රිටි පැනීම (කාන්තා) අවසන් තරඟ පැවැත්වේ.

හෙට පස්වරු 3.30ට නිල සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ලබන සඳුදා හා අඟහරුවාදා (2x3) තවත් මලල ක‍්‍රීඩා ඉසව් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සමාරම්භක උත්සවයේ ආරාධිතයන්ට ක‍්‍රීඩාංගනයේ සිටියදීම මීටර් 100X4 කාන්තා හා පිරිමි අවසන් තරඟ හෙට පස්වරු 5.30 ට පැවැත්වේ.

මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අඟහරුවාදා පස්වරු 2.30 ට අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක‍්‍රීඩා උලෙලේ නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවන මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් හොඳම දක්ෂතාවය පළ කරන ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩිකාවට පළමු වතාවට මෝටර් රථයක් තිළිණ කෙරේ.

අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ තරග පරිසාදන මට්ටම් එහිදී සැලකිල්ලට ගන්නා බව නියෝජ්‍ය ක‍්‍රීඩා අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා පවසයි. රාජ්‍ය අනුග‍්‍රහයෙන් වසරේ පැවැත්වෙන ප‍්‍රධානතම ක‍්‍රීඩා උලෙල පළමු වරට 1972 දී අන්තර් පළාත් ක‍්‍රීඩා උළෙල ලෙස පවත්වා තිබේ. මලල ක‍්‍රීඩා පාපන්දු හා වොලිබෝල් යන ක‍්‍රීඩා ඉසව් පමණක් පළමු ක‍්‍රීඩා උළෙලට ඇතුළත්ව තිබේ.

පසුව ජාතික මහ ක‍්‍රීඩා උළෙල නමින් හැඳින්වූ ක‍්‍රීඩා උළෙලට මේ වන විට ඇතුළත් ක‍්‍රීඩා ඉසව් ගණන 21 කි.

මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මෙතෙක් පැවැති තරග ප‍්‍රතිඵල අනුව බස්නාහිර පළාත රන් පදක්කම් 68ක් ලබා දැනටමත් ක‍්‍රීඩා උළෙලේ ජය තහවුරු කරගෙන සිටියි.

දෙවැනි ස්ථානයේ මේ වන විට පසුවන මධ්‍යම පළාත දිනා ඇති රන් පදක්කම් ගණන 34 කි. උතුරු පළාත හැරෙන්නට සෙසු සියළු පළාත් මේ වන විට රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටිති.

වසර 2012 ක‍්‍රීඩා උළෙල බස්නාහිර පළාත ජයගත්තේ රන් පදක්කම් 72 ක් දිනා ගනිමිනි.

 


අදහස් (0)

බස්නාහිර දැනටමත් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.