Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මගේ ඉලක්කය ඔලිම්පික් උළෙලයි - මංජුල කුමාර

මගේ ඉලක්කය ඔලිම්පික් උළෙලයි - මංජුල කුමාර

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවහොත් ක‍්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව සිතන බව උස පැනීමේ ශූර මංජුල කුමාර පැවසීය.


මේ මස 5 වැනිදා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී ආරම්භවන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගිවන සමස්ත ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම මලල ක‍්‍රීඩා කණ්ඩායමේ ද නායකත්වය දරන්නේ මංජුල කුමාරය.


මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී තමන්ගේ අපේක්ෂාව උස පැනීමේ ක‍්‍රීඩාවෙන් කෙසේ හෝ රන් පදක්කම දිනා ගනිමින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම යැයිද මංජුල පැවසීය. එම අවස්ථාවට ළඟා වීමට තරම් හොඳ සුදානමකින් තමන් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.


”මට 2004 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල විතරයි මේ දක්වා නියෝජනය කරන්න පුඵවන් වුණේ. ඉතිං මගේ ක‍්‍රීඩා දිවියේ ලොකුම ආශාව සහ අරමුණ අගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමයි”


උස පැනීමේ ඉසව්වෙන් ඔලිිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ පරිසාධන මට්ටම වන්නේ මීටර 2.29 කි. මංජුල පවසන්නේ තමන්ට එම අවස්ථාව ලබා ගැනීමේ හැකියාව මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී ඇති බවයි.


”මෙවර සාග් ක‍්‍රීඩා උළෙලදී ඔලිම්පික් පරිසාධන මට්ටමට ඒමට නොහැකි වුවහොත් මම විශ්වාස කරනවා මලල ක‍්‍රීඩා සංගමයෙන් අපට එම අවස්ථාවට ළගාවීමට තරග ලබාදෙයි කියලා. දැන් මගේ වයස 32 යි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමට හැකි වේද නැද්ද යන්න මත ක‍්‍රීඩා දිවියෙන් සමුගැනීම පිළිබ`ද තීරණයකට එළැඹෙනවා යැයි” මංජුල පවසයි.


ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩා කරන මංජුල පවසන්නේ එවැනි තීරණයකට පැමිණීමට පෙර ගුවන් හමුදාවේ අදාළ නිලධාරීන් සමඟ ද සාකච්ඡුා කර තීරණය ගත යුතු බවයි.


මෙවර දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී සමස්තයක් ලෙස කෙතරම් රන් පදක්කම් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව දිනා ගනී ද යන්න පිළිබදව අවබෝධයක් නැතත් මලල ක‍්‍රීඩා කණ්ඩායම දිනා ගන්නා රන් පදක්කම් සංඛ්‍යාව පිළිබ`දව මංජුල පැවසුවේ මෙලෙසිනි.


 ”සමස්තය පිළිබඳව ඇත්තටම හරි අවබෝධයක් නෑ. මලල ක‍්‍රීඩා කළමනාකාරීත්වයේ අදහසත් සමග අපේ මලල ක‍්‍රීඩා කණ්ඩායම ගැන බැලූවොත් රන් පදක්කම් 12 ක් දිනා ගැනීම තමයි අපේ සැලසුම වන්නේ.


තරුණ ක‍්‍රීඩකයන් රැසක් මෙන්ම ප‍්‍රවීණ ක‍්‍රීඩකයන් මලල ක‍්‍රීඩා කණ්ඩායම සතුයි. අපට මලල ක‍්‍රීඩා ඉසව්වලදී ලොකුම අභියෝගය වන්නේ ඉන්දියාවයි.


අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එකිනෙකා දන්නවා තරග ඉසව්වේදී අභියෝගයක් විය හැක්කේ කවුද කියලා. එනිසා අපි ඉලක්ක කරන පදක්කම් ගණනට අපට යාමට හැකියැයි විශ්වාසයක් තියෙනවා යැයි” සාග් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පැවසීය.


 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ උස පැනීමේ (පිරිමි* වාර්තාවට හිමිකම් කියන මංජුල මේ දක්වා දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල දෙකකට සහභාගිවී තිබේ. එම අවස්ථා දෙකේදීම රන් පදක්කම් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දක්වා ඇති ඔහු ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලි දෙකකට සහභාගිවී උස පැනීම ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට ද සමත්ව ඇත.


”මේ මගේ තුන්වැනි සාග් ක‍්‍රීඩා උළෙල. මගේ පළමු දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල 2004 වසරේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ක‍්‍රීඩා උළෙලයි. එම ක‍්‍රීඩා උළෙලේදී මීටර 2.20 ක උසක් පැනලා දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලක උස පැනීමේ ඉසව්වේ වාර්තාව මම පිහිටුවුවා”


”2006 වසරේ ශ‍්‍රී ලංකාවේ තිබුණ සාග් ක‍්‍රීඩා උළෙලට කකුලේ ආබාධයක් එක්ක තරගයට සහභාගිවුණත් මීටර 2.19 ක් පැනලා රන් පදක්කම දිනා ගන්න මට හැකි වුණා”


වැඩි දුර අධ්‍යාපනය ලැබීමට ඇමරිකාවට ගොස් සිටි නිසා තමන්ට 2010 සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගිය බවද මංජුල සිහිපත් කළේය.


ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී කණ්ඩායම් නායකත්වය දැරුවත්, කලාපීය ක‍්‍රීඩා උළෙලක සමස්ත කණ්ඩායමේ නායකත්වය දැරීමට තමන්ට මේ දක්වා අවස්ථාව නොලැබුණ හෙයින් මෙය සිය ක‍්‍රීඩා දිවියේ වටිනාම අවස්ථාව බවත් මංජුල පවසයි.


 වර්තමානයේ දකුණු ආසියාවේ උස පැනීමේ තරග ඉසව්වේ ක‍්‍රීඩකයන්ගේ දියුණුව පිළිබ`දව මෙන්ම මෙවර ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දියාවේ ස්ථානයන් පිළිබ`දව මංජුල අදහස් දැක්වීය.


”උස පැනීමේ ඉසව්වෙන් වර්තමානයේ ඉන්දියන් ක‍්‍රීඩකයන් දෙදෙනෙක් තමයි ඉදිරියෙන් ඉන්නේ. අනික ඔවුන්ගේ රටේ තියෙන නිසා ඉන්දිය ක‍්‍රීඩකයන් හොඳ සුදානමකින් ඇති.


තරග පැවැත්වෙන ගුවහාටි ප‍්‍රදේශයේ දේශගුණය සීත දේශගුණයක් පවතින ප‍්‍රදේශයක් කියලා තමයි ආරංචිය. ලංකාවේ පුහුණුවීම් කළේ සහ ඉන්නේ තරමක් උණුසුම් ප‍්‍රදේශයක නිසා දේශගුණයත් අපට තරමක් බලපායි. කොහොම වුණත් සියල්ලටම මුහුණ දීලා රන් පදක්කමට යාමයි අරමුණ වන්නේ යැයි”  මංජුල අවසාන වශයෙන් පැවසීය.


කියුබානු මලල ක‍්‍රීඩා පුහුණුකරු ලූයිස් මිරෙන්ඩා මහතා යටතේ කොළඹ සුගතදාස සහ ටොරින්ටන් ක‍්‍රීඩාංගණවලදී මංජුල පුහුණුවීම්වල නිරත වූයේය.

 


අදහස් (0)

මගේ ඉලක්කය ඔලිම්පික් උළෙලයි - මංජුල කුමාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.